Friday, 10 May 2019

නුවර අහස යට - Short Story by Pramodi Peramuna

නුවර අහස යට - Sinhala Short Story


මුළු නුවර අහසම අද පොළොවත් එක්ක හොදටම තරහ වෙලාද කොහෙද උදේ ඉදන් එක දිගට වහින්න පටන් ගත්ත වැස්ස තාමත් අඩුවෙන පාටක් නෑ. තෙත බරියන් වෙන බව දැන දැනම කුඩෙත් අරගෙන පාරට බැස්සෙ තවත් බලන් ඉන්න බැරිම තැන. වැස්ස නිසා පාරත් අද පාළු වෙලා. වෙනදට පාර දිගටම ලස්සනට වැටිලා තියෙන රොබරෝසියා මලුත් වැස්සට දියවෙලා ගිහින්. පාළු වීදියෙ ඈතින් පෙනුණෙ එක කුඩේක තුරුල් වෙලා වැස්සෙ ඇවිදගෙන එන කපල් එකක් විතරයි. ඔව් ඉතිං මේ පැල් බැදගෙන වහින වැස්සට කැමති එකම කට්ටිය එයාලා විතරයි. එහෙම හිතනකොට දුකක් එක්කම වේලිච්ච හිනාවක් මගෙ මූණට ආවෙ ඉස්සර මතක් වෙලා. ඒ ලස්සන කාලෙ හරියට හීනයක් වගේ. ඇත්තටම මාත් මේ වැස්සට ගොඩාක් ආස කරපු කාලයක් තිබ්බා. ඒ එයා හිටපු කාලෙ.


එයා...

එයා තමයි කැම්පස් එකේදි මට හම්බවුණ වටිනම දේ. මොකද්දෝ පවකට අද හැංහිලා ගියාට අදටත් මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනා එයා. මේ වීදියෙම මේ රොබරෝසියා යාය යටින් මේ වගේම වැස්සෙ ආදරෙන් තුරුල් වෙලා කී පාරක් නම් අපි ගිහින් ඇත්ද. වැස්ස නැති දවස් වලට මේ රොබරෝසියා මල් මැද්දෙන් ඇවිදගෙන යනකොට එක එක මල් එකතු කරලා එයාගෙ කොණ්ඩෙ ගහලා හැඩ බලපු හැටි තාමත් මතකයි. එදා අපිට අපි නැතුවම බැරි වුණාට අද එයා වෙන තැනක මං තාමත් අපේ මතක පිරුණු මේ නුවර අහස යට ඒ වැස්සෙම තනියෙන් තෙමෙනවා. ඒ අපේ දෛවය..

"චිරිස්..."

කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු මම එකපාරටම උඩ ගිහින් බිම වැටුණෙ වාහනේක රෝදවලින් ඉහුණු මඩ වතුර වලින් මාව නෑවිලා යද්දි. මං ඉක්මනින්ම වාහනේ දිහා බැලුවෙ කව්ද ඒක එලවන මෝඩයා කියලා බලාගන්න. වාහනේ නම් නවතින පාටක් නෑ ඒත් හෙමින් හෙමින් පිටිපස්සෙ කළු පාට කරපු වීදුරුව ඇරුණෙ මං බලන් ඉද්දිමයි. වාහනේ මාව පහුකරගෙන ගිහින් තිබුණට ඒ වීදුරුවෙන් එළියට එබුණු ඇස් දෙක මං අදුරගත්තා. දැක්කෙ අවුරුදු ගානකින් වුණාට ඉස්සර මගෙ වටේම කැරකුණු ඒ ඇස් මට තාම අමතක නෑ. කවදාකවත් අමතක වෙන්නෙත් නෑ. මං මෙච්චර වෙලා කල්පනා කර කර ආවෙ ඔය ඇස් ගැන කියලා එයා දන්නව නම්..

වාහනේ නොපෙණී යනකම්ම මං ඒ දිහා බලන් හිටියෙ පිස්සුවෙන් වගේ. එයාගෙ සැප වාහනේ ඉදන් බලද්දි මඩ වතුර නාපු මම අසරණයෙක් වගේ එයාට පේන්න ඇති. ඒත් හිත රිදුනෙ නෑ මගේ. මොකද වාහනෙ රෝද දන්නෙ නෑනෙ කාලයක් අපි ගොඩක් ආදරෙන් හිටපු බව..

*********************************************************************************************************************************

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී..

අදුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නැහැ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ..

Short story by Pramodi Peramuna 💜️




☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁


No comments: