Thursday, 9 May 2019

පිපුණු මලක හැඩ - Short Story by Pramodi Peramuna

පිපුණු මලක හැඩ - Sinhala Short Story


සීතල හුළඟ කපාගෙන බයික් එක වේගෙන් ඉස්සරහට යනකොට ඇඟට දැනෙන සනීපෙ නම් ආයෙ වචනෙන් විස්තර කරන්න බෑ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක අමුතුම ආතල් එකක්. මේ වගේ ෆන් එකක් ගන්න මට ලැබෙන චාන්ස් එක නම් හරි අඩුයි. මොකද ඉතිං මං උදේට කියලා නැගිටින්නෙ ඉර පායලා පශ්චාත් බාගෙ රත් වෙලා යන්තම් පිච්චීගෙනත් එනකොටනෙ. එතකොට කොහෙද ඉතිං සීතල හුළඟක්.

මං බයික් එකට නඟිනකොටම අම්මා නම් කිව්වෙ අනේ පුතේ අදවත් හෙමින් යන්න කියලා. වෙන කෙනෙක් ඔහොම කිව්වා නං මං බොක්කෙන්ම කියන්නෙ ඉගිල්ලෙන එකත් කලාවක් බ්‍රෝ කියලා. ඒත් ඕවා අම්මට කියන්න ගිහිල්ලා දවස් ගානකට ගෙදරින් බත් කන්න තියෙන එක නැති කර ගන්න තමයි වෙන්නෙ. 

ඒ වුණාට එහෙමත් නෑ අප්පා. අපේ අම්මා බැන්නට මට හරි ආදරෙයි. මං ඉතිං අම්මාගෙ වන් ඇන්ඩ් ඔන්ලි චූටි පුතානේ. හරියට නිකං අම්මගේ කෝකටත් තෛලෙ වගේ. කොයි දේ කරන්න ගියත් චූටි පුතා, චූටි පුතා තමයි ඉතිං අම්මට. අම්මා කොච්චර කිව්වත් හෙමින් යන්න හිත දෙන් නෑ අප්පා. වේගෙන් යන එකෙ ආතල් එක දන්නෙ ඉතිං මං වගේම බයික් එකෙන් පියාඹන්න හදන තවත් එක උත්තමයෙකුම විතරයි.

හප්පට සිරි එහෙම කිව්වමනෙ මතක් වුණේ ඇත්තටම අද වැදගත් දවසක් කියලා. එහෙම හිතද්දිත් හිනා යනවා. ඇයි ඉතිං හිනා යන්නැද්ද අප්පා මෙච්චර දවසක් මගේ අර කුජීත යාළුවො සෙට් එකත් එක්ක පිස්සුවක් කෙළගෙන අම්මයි තාත්තයි දෙන දෙයක් කාගෙන ආතල් එකේ හිටිය මම අද ඉදන් වැදගත් විදිහට රස්සාවකට යනවා කියලා හිතෙද්දි.

පිස්සු විකාර හිත හිත ඇවිල්ලා දන්නෙම නැතුව කළුතර බෝධිය ලඟටත් ආවා.  අම්මා නම් කිව්වෙ යන ගමන් කළුතර බෝධියටත් වැඳලා යන්න කියලා. මං ඉතිං ඔය පිං අතේ වැඩ වලට නම් ටිකක් කම්මැලියි. ඒ වුණාට අම්මා කිව්ව වචනෙ ගැන සලකලා බලලා මං ඔන්න ඔහෙ නැවැත්තුවා.

අම්මේ.. මාර සෙනඟක්නෙ. මිනිස්සුන්ට මෙච්චර පන්සල් වලට එන්න වෙලා තියෙනවද අප්පා. පන්සල් වලට කිව්වට ඉතිං මේ වගේ ප්‍රසිද්ධ තැන් වලට විතරයි. ගමේ පන්සල් වල එක මනුස්සයෙක් වත් නෑ. ඒකත් එක වෙලාවකට හිනා යන කතාවක්.

දැන් ඇතුළට ගියොත් නම් ආයෙ මලාට එළියට එන්න වෙන එකක් නෑ. එහෙම වුණොත් ඉතිං අද හා හා පුරා කියලා රතු ඉරත් ගහගෙන තමයි ඔෆිස් එකට ගොඩ බහින්න වෙන්නෙ. ඒකෙත් හැබැයි පොඩි ආතල් එකක් තියෙනවා.

කෝකටත් මෙතන ඉඳන් වැඳලා යනවා කියලා අන්තිමෙට තීරණේ කරා. ඉතිං වැඳලා ඉවර වෙලා මගේ ෆුල් ඔප්ෂන් බයික් එකට නඟින්න යද්දිම තමයි සුදු බෝල ඇස් දෙකක් මේ පැත්තට එනවා දැක්කෙ.

ඇත්තටම මෙහෙම කෙල්ලො මේ පැත්තෙ ඉන්නවද අප්පා. මං නම් මලාට දැකලා නෑ. මෙහෙ ඉන්න සමහර එවුන් පන්සල් එන්නෙත් හරියට ෆැෂන් ෂෝ එකකට එනවා වගේ. ඒ තරම් කැටයම්. ඇම්බැක්කෙ ගඩලාදෙණියෙ වත් නැතුව ඇති එච්චර කැටයම්.

ෂහ් කෙල්ලගෙ අතේ ලොකු නෙළුම් මල් මිටියකුත් තියෙනවා. මටත් එයත් එක්කම ගිහින් මලක් ඉල්ලන් බුදුන් වඳින්න හිතක් පහල වෙනවා.

මං කෙල්ල දිහාමටම හෙමීට ඇස් යැව්වා. වැඩිය දඟලලා චාටර් වෙන්නත් බෑනෙ. කෙල්ල බිම බලන් එනවා. දිගට දිගේ ලස්සන කොණඩෙයි ඒ සුදු මූණයි දැක්කම මාර ලෝබකමක් දැණුනෙ.  මාරම චාම් කෙල්ලෙක්. දැන් කාලෙ ඉන්න කෙල්ලන්ගෙ කැටයම් දැකලා දැකලා මට අප්පිරියා වෙලා. ඇත්තටම මං හොය හොය හිටියෙත් මේ වගේ කෙල්ලෙක් අප්පා. බැරි වෙයි ද දන්නෙ නෑ මගේ කරගන්න.

අඩෝ හිත, තෝ මේ මොනවද හිතන්නෙ. අනික මේ පන්සලක් ඉස්සරහ. මේ තප්පර පහට දහයට මොන තරම් දේවල් හිතුවද. කවදාවත් කෙල්ලෙක් දැකලා මෙහෙම හිතලා නෑනේ. උඹට ඇත්තටම පිස්සුද යකෝ. වරෙං පියවි ලෝකෙට. බැරිම තැන මං ඔලුවත් හෙල්ලුවා.

අම්මෝ දැන් තමයි පියවි ලෝකෙට අවේ.තෑන්ක්ස් හිත. මල කෙළියයි.  කෙල්ල මං දිහා බලන් ඉන්නවා නේද. ඒ මදිවට එයාට හිනත් ගියා. හිනා නොවී තියෙයි යෑ. මං මෙච්චර වෙලා බහුභූත හිත හිත එයා දිහා බලාගෙන නෙ ඉඳලා තියෙන්නෙ. මගේ මූණ තියෙන්න ඇති නිකං පැණි වරකෙ දිහා බලන් ඉන්න වඳුරගෙ වගේ. අයිසේ හිත, උඹ මාව චාටර් කරා යකෝ. විළි ලැජ්ජාවයි නෙ.

කෙල්ලට ආයෙත් හිනා මං ආයෙත් එයා දිහා බලන් කල්පනා කරලා තියෙන්නෙ. මෝඩ හිත, උඹට සතුටුයි ද දැන්. මං ඉක්මන්ට වෙන පැත්තක් බැලුවා. අම්මෝ ඒ බෝල ඇස් දෙක. ඇඟම හිරිවැටිලා යනවා. මොනවා වුණත් කෙල්ලත් පොඩ්ඩක් මට කැමති පාටයි. නැත්තම් මගේ විකාර වලට හිනා වෙයි යෑ රවලා යනවා මිසක්.

කෙල්ල හෙමින් මාව පහු කරන් ගියා. අම්මේ සුවඳ. ඒක නම් සෙන්ට් සුවඳක් නෙමෙයි හරියට මල් සුවඳක් වගේ.

එහෙම හිතලා විනාඩියක්වත් ගියෙ නෑ අලි තඩි ජිප් එකක් ඇවිල්ලා කෙල්ල ගාවින් නතර කරා. මං ෆුල් හොල්මන්. ඒකෙන් බැස්ස මිනිහා හෙන හයේ හතරේ පොරක්. මේකා නම් තනිකර ජිම් එකක් පිටින් ගිලලා වගේ. ඒ තරම් ඇඟ. ඌ එකපාරම ගිහින් හිටගත්තෙ කෙල්ලගෙ ඉස්සරහ.

"තමුසෙට මං කී පාරක් කියලා තියෙනවද මට නොකියා තනියම ගෙදරින් එළියට බහින්න එපා කියලා. අහන් නෑ නේද කියන එක.."

ඒ සද්දන්තයා කෙල්ලව මැරිලා වැටෙන සයිස් එකේ වොයිස් එකකින් ඇහුවෙ. කව්ද මේ ගස් නරියා. අර අහිංසක කෙල්ලට සද්ද දාන්නෙ. කෙල්ලගෙ අයියාවත් ද. හැබැයි කෙල්ලගෙ අහලකින්වත් තියන්න බෑ මූව නම්. කෙල්ල හොදටම බය වෙලා. අර සුදු බෝල ඇස් දෙක කඳුළු වලින් පිරිලා.

"අම්මගෙයි තාත්තගෙයි ඇක්සිඩන්ට් එක වෙලා අදට අවුරුදු දහයයි. මං ඒ හින්දා පන්සල් ආවේ. නැන්දා හිටියෙ නෑ. ඒකයි නොකියම ආවෙ. "

කෙල්ල කිව්වෙ ගොත ගගහා හරියට කොටියෙක්ට අහු වෙච්ච මුව පැටියෙක් වගෙ.

"ආ ඒකත් එහෙමද..  එතකොට තමුසෙට අමතක වුණාද ඒ අවුරුදු දහයම තමුසෙට කන්න බොන්න දීලා බලාගත්තෙ අපි කියලා.. තමුසෙට ඕනෙ ඕනෙ විදිහට එළියට බැහැල ගමන් යන්නෙ ඇයි තමුසෙ මගේ ෆෝන් නම්බර් එක දන්නෙම නැද්ද. කෝල් එකක් දීලා පන්සල් යන්න ඕනේ කියන්න."

ඌ ඒක ඇහුවෙ කෙල්ලගෙ අතින් අලලලා කිටි කිටියෙ මිරිකන ගමන්. යකෝ තිරිසනෝ ඒ කෙල්ලට රිඳෙනවා. ඉබේම මගේ අත මිට මොල වෙලා දත් මිටි කැවෙන්න ගත්තා. එතකොටමයි කෙල්ල ඒ අත ගසලා දැම්මේ. මං හිටියෙ කෙල්ලට තව මොනා හරි කරන්න අවොත් මූට පුළුවන් විදිහට හරි දෙක තුනක් ඇනලා දාන්න බලාගෙන.

" හරි අමාරු ඇති අම්මටයි පුතාටයි මට කන්න දීලා. ඒවා මගේ සල්ලි. ඒ ගෙදර, ඔය වාහන ඒ ඔක්කොම මගේ දේපල. මහන්සි ඇති තමුසෙලාට මගේ අහිංසක අම්මයි තාත්තයි මහන්සියෙන් හම්බ කරපුවා තමන්ගෙ වගේ බුක්ති විඳලා. අත්තම්මලා පවුලෙන් අයින් කරලා තියෙද්දිත් පව් කියලා මගේ තාත්තා තමුසෙලාව ගෙදර නවත්ත ගත්තේ. ඒක මතක තියා ගන්නවා. අහසින් කඩා පාත් වෙලා වගේ ඇවිත් දැන් එනවා මට කන්න දුන්නු ඒවා කියාගෙන. මට පව් නොදී යනවා යන්න මෙතනින්. මේක පන්සලක්."

වතුර ගලනවා වගේ කෙල්ල කියාගෙන යද්දි අර සද්දන්තයාගෙ මූණ බෙරි වෙලා ගිය විදිහ දැක්කම මට මාර ආතල් එකක් දැනුණෙ. නියමයි කෙල්ලෙ. වෙල් ඩන්. හොඳ වැඩේ ගස් නරියා උඹට. මං තවත් ඒ පැත්තටම ඇන්ටනාව දාගෙන හිටියා.

"තමුසෙ මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව නැගපන් වාහනේට. දැනගන්නවා තමුසෙව අයිති මට. මං උඹේ මස්සිනා. තමුසෙ ජීවත් වෙන්න ඕනෙ අපි කියන විදිහට. ඉඳපන් මං හෙටම තමුසෙව බඳිනවා. මෙහෙ වරෙන් යන්න.."

වදෙන් පොරෙන් කෙල්ලව ජීප් එකට දාගෙන ඒ ගස් නරියා යන්න ගියා. හුළඟටත් වඩා වේගෙන් ජීප් එක යන්න ගියෙ මගේ හිතට දැනුණු හැඟීම් වලට වචනෙකින්වත් එළියට එන්න තිබ්බ ඉඩ නැති කරලා දාලා.

ඉට්ස් ඕකේ හිත. අපි යන්න ආව ගමන අපේ පාඩුවෙ යන්න යමු. උඹ මාත් එක්ක හැමදාම ඉන්නවනේ. මට ඒ ඇති.

ඔෆිස් එකට යන්න කියලා බයික් එකට නඟින ගමන් මං මගේ හිතටම එහෙම කියා ගත්තා.

*********************************************************************************************************************************************************************

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කළා..

(ගීතය උපුටා ගැනීමකි.)

Short story by Pramodi Peramuna 💜️



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


පියාසරන සිතුවිලි - Flying Thoughts

1 comment:

Anonymous said...

Amazing♥️