පෙම්වතුන්ගේ ගීතය - Sinhala Short Story
දවල්ට අම්මා බෙදලා දීපු බත් එකත් කාලා පොඩ්ඩක් ඇඳ පැත්තට ආවෙ පොඩි හාන්සියක් දාන්න කියලා හිතාගෙන. කරන්න කියලා ඉතිං විශේෂ දේකුත් නෑ නෙ. ෆෝන් එකේ ඩේටත් ඉවර වෙන්න ලඟයි. අද හවසට නම් මොනවා හරි ගේමක් ගහගන්න වෙනවා. බලමුකො. තව වෙලා තියෙනවනෙ.
ඔහොම හිතලා හීන් සීරුවෙ මං ඇස් දෙක පියා ගත්තා. බඩත් හොඳටම පිරිලා. නිදාගන්න නියම ටයිම් එක.
අම්මේ ඒ පාර වළාකුළු අතරෙ මාව පා වෙනවා. සුදු පාට ලා නිල් පාට එකේක විදිහෙ වළාකුළු. මේක නම් නියමයි. ඒ මොකද්ද සද්දයක් ඇහෙන්නේ. ආහ් සින්දුවක්.
" love me like you do la la love me like you do..
Touch me like you do ta ta touch me like you do.."
ෂා ඒකනම් මං ආසම සින්දුව. කව්ද මේ වළාකුළු අස්සේ මේ සින්දුව ප්ලේ කරේ. දිගටම සින්දුව යනවා. මාත් ඒක අහගෙනම ඔහේ පාවුණා.
"මල්ලී.. මල්ලී.."
ඈ ඒ පාර වළාකුළු අස්සෙන් අපෙ අක්කගෙ කටහඬත් ඇහෙනවා. එයා කොහෙද මෙහෙ ආවේ. එක්කො ෂුවර් එකට එන්න ඇති පස්සෙන් මගෙ හොර අල්ලන්න හිතාගෙන. මගේ පාඩුවෙ මගේ වැඩක් කරගන්න දෙන්නෙම නෑනෙ මේ වාතෙ ඇත්තට..
" මේ මනුස්සයෝ නැගිටිනවා.."
එක පාරටම අක්කගෙ කටහඬ කණ ගාවින්ම ඇහුණා. මොන මල කරදරයක් ද මේ.
"මේ හලෝ මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා.."
කියාගෙනම මං අතින් එයාව තල්ලු කරා.
"ඌයි.."
මට තරු විසික්කා වුණා. මට අත අල්ලගෙනම ඉන්ද වුණා. කෝ අර වළාකුළු. මේක මහ අපබ්‍රංශයක් නෙ. එතකොට මං කොහෙද මේ ඉන්නේ. මං වටපිට බැලුවා. මං ඉන්නෙ ඇඳේනෙ. අත වැඳිලා තියෙන්නෙ ඇඳ විට්ටමේ. එතකොට කොහෙන්ද අපේ සදාදරණීය අක්කණ්ඩියගෙ ස්වීට් වොයිස් එක ඇහුනෙ. මං හෙමීට දොර පැත්ත බැලුවා. එතකොට තමයි දැක්කෙ දොරකඩට වෙලා පුපුර පුපුර ඉන්න අපේ අක්කගෙ ලස්සන මූණ. පේන විදිහට නම් නඩුවක් වගේ පුතේ.
"ආ අක්කේ.. ඔයා මොකද මෙහෙ කරන්නෙ."
මං ඉතිං ෂේප් එකේ ඇහුවා.
"මෙහෙ කරන්නෙද.. දැන් විනාඩ් දහයක් තිස්සෙ ඉඳන් තමුසෙගෙ ඔය මල ඉලව්ව රින්ග් වෙනවා. තමුසෙට කන් දෙකක් නැද්ද මල්ලි.."
මේ මොනවා අහනවද. මට කන් දෙකක් නැද්ද අහන්නෙ. මේ තියෙන්නෙ ලස්සනට දිලිසි දිලිසි.
"ඔය ආයෙත් රින්ග් වෙනවා. ඕක ආන්සර් කරනවා මෝඩයෝ. මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට කනක් ඇහිලා වැඩක් කරගන්න දෙනවා.."
කතුරක් වගේ කියාගෙන කියාගෙන ගිය අක්කා දඩාං ගාලා දොරත් වහගෙන යන්න ගියා. එයා ඔහොම තමයි. එක වෙලාවකට ටිකක් මොංගල්.
අක්කා මොකද්ද කියලා ගියෙ. මං ආය කල්පනා කරා. කොහෙද වළාකුළු අස්සෙ පාවි පාවි නින්දක් යාගෙන එනකොටනෙ මේ වාතෙ ඇවිත් ඔක්කොම අවුල් කරලා දැම්මෙ.
ඒක හිත හිත ඉද්දි තමයි සුපුරුදු සින්දුව ආයෙ ඇහෙන්න ගත්තෙ. ආ ඒ මගෙ ෆෝන් එක නේද. එතකොට ඒක තමයි අර වළාකුළු අස්සෙදි මට ඇහිලා තියෙන්නෙ. කොහෙද මං ඒක තිබ්බෙ. අන්තිමේට ඇඳම පෙරලලා හොයනකොට තමයි දැක්කේ ෆෝන් එක බිම වැටිලා තියෙනවා. අනෙ අනේ අපේ අක්කා කන් දෙකේ අධි සංවේදන උපකරණයක් හයි කරගෙන ද කොහෙද ඉන්නෙ. නැත්තම් මෙච්චර මේ ඇඳේ ඉන්න මිනිහට ඇහෙන් නැති සද්දෙ එයාට කොහොමද ඇහුණෙ. හැබැයි ඉතිං මාත් නිදාගත්තට පස්සෙ කව්රු හරි ඇවිත් මාව උස්සන් ගියත් දන්නෙ නෑ.
මං ඉක්මනට ෆෝන් එක අරන් බැලුවෙ කව්ද මේ නිදහසේ නින්දක්වත් දාන්න නොදී කරදර කරන භූතයා කියලා බලන්න.
බලද්දි තමයි දැක්කෙ භූතයෙක් හොල්මනක් නෙමෙයි මහසෝනටත් වඩා බය හිතෙන කෙනෙක් තමයි කෝල් කරලා තියෙන්නෙ. වෙන කව්රුවත් නෙමෙයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මිස්ඩ් කෝල්ස් එකොලහයි. දැන් ඉතිං මහ අධිකරණෙ විභාග වෙන නඩුවකටත් වඩා අන්ත නඩුවක් තමයි මට වැටෙන්නෙ. දැන් ඉතිං එයා පනවන ඕනෙම දඩුවමකට යටත් වෙලා සිර ගත වෙන්න තමයි මට වෙන්නෙ.
ආයෙත් පාරක් එයා මට ගන්න කලින් මං එයාට කෝල් එකක් ගත්තා.
"හෙලෝ බබා."
මං යටහත් පහත් සුවච කීකරු වොයිස් එකකින් කතා කරා.
"බබා.. බබා තමයි. මං දැන් කීයෙ ඉඳන් ද ගන්නෙ. මොකද කරන්නෙ අනේ.."
කෙල්ලට නම් හොදටම මල පැනලා වගේ. දැන් අර සුදු මූණ ඇති ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.
"අනේ පැටියො මං මේ අම්මට පොඩ්ඩක් පොල් ටිකක් ගාලා දෙන්න ගියා. කොහෙද මේ අපේ ගෙදර අක්කෙක් ඉන්නවා මෙලොව වැඩක් කරන් නෑනෙ.."
මං ෂේප් එකේ අපේ අහිංසක අක්කව අල්ලලා තිබ්බා.
"පොල්.. අනේ මේ ඔයා ගාන පොල්. කටහඬ ඇහෙද්දිම කියන්න පුළුවන් පොල් ගාලා දෙන්න ඇත්තෙ නින්දෙන් කියලා.."
අනේ අම්මපා මේ කෙල්ලො කියන ජාතිය නම්. මුන්ට දිවැස් තියෙනවද මන්දා. කෙල්ලයි අපෙ අක්කයි දෙන්නම එකයි.
"මොකද කතා නැත්තෙ. කියන්න තව බොරුවක් හොයනවද. දැන් කියන්න එපා පොල් ගගා ඉද්දි මට නින්ද ගියා පැටියෝ කියලා විතරක්. අද හවස මං ටවුන් එනවා. හවස හතරට අපේ හෝල්ට් එක ගාවට එන්න. මං තියනවා. බායි."
මහේස්ත්‍රාත් අණක් වගේ කියාගෙන ගිහිල්ලා කෙල්ල දඩස් ගාලා ෆෝන් එක තිබ්බා.
වෙලාව තුනට දහයයි. දැන් ඉතිං ආයෙ කොහෙ නිදියන්නද. විනාඩියක් හරි පරක්කු වුණොත් ආයෙ එතනත් නඩුවක්.
මං ටක් ගාලා ඇඳෙන් නැගිටලා ගිහින් නා ගත්තා. නාලා, හොඳ ඇඳුමකට මාරු වෙලා, සෙන්ට් නාගෙන කුරුල්ලා වගේ එළියට බහින්න යද්දි තමයි මතක් වුණේ පර්ස් එකේ රුපියල් දහයක් වත් නෑ කියලා.
අම්මා නම් ගෙදර ඉන්නවා. ඒ වුණාට ඊයෙත් ඩේටා කාඩ් එකක් දාගන්න අම්මගෙන් සල්ලි ඉල්ල ගත්තෙ. අදත් ඉල්ලන්න බෑ. හොදටම බැනුම් අහගන්න තමයි වෙන්නෙ. මං හෙමින් සීරුවෙ රිංගුවෙ තාත්තගෙ ඔෆිස් රූම් එකට. තාත්තා ඊයෙ ඇඳන් ගියපු කමිසෙ ඒකෙ එල්ලලා තිබුණා. මං ෂේප් එකේ කමිස සාක්කුවට අත දාලා බලද්දි ඒකෙ තිබිලා සල්ලි නෝට්ටු කීපයක්ම හම්බුණා.
මං ඒකත් අරන් හෙමින් එළියට එනකොටම දැක්කෙ අක්කා ටවල් එකත් අරන් වොෂ් රෑම් එක පැත්තට යනවා. ෂුවර් එකට එයා ඔය යන්නෙ නාන්න. ආයෙ පැයකට දෙකකට එළියට එන්නෙ නෑ. එහෙම හිතනකොට තමයි මට නියම අයිඩියා එකක් ආවෙ.
අක්කා යනකම් ඉඳලා මං ෂේප් එකේ එයාගෙ කාමරේට රිංගුවා. අර සල්ලි වලින් ටිකක් මගේ පර්ස් එකට දාගෙන අනිත් ටික අක්කගෙ මේසෙ උඩින් තිබ්බා. දැන් තව ටිකකින් තාත්තා ඇවිත් සල්ලි හොයද්දි අහු වෙන්නෙ අක්කවනෙ.
එතකොට අක්කා අන්දුන් කුන්දුන් වෙයි එයාගෙ මේසෙ උඩට මේ සල්ලි ආවෙ කොහෙන්ද කියලා. ඒ වෙලාවට එයාගෙ මූණ බලන්න තිබ්බා නම් මරේ මරු. දැන් ඉතිං ඒකට වෙලාව නෑ. මං දැන්ම ගියෙ නැත්තම් අර ගෑනු පරානෙ මගෙ ඔලුව කනවා.
හැමදාම වගේ යාලුවෙක් හම්බවෙන්න යනවා කියලා අම්මට කියාගෙන මං එළියට බැස්සා. වෙනදා වගේම තාත්තගෙ මේ සල්ලි ටික ඉවර කර ගෙන මං ආයෙ රෑ වෙලා ගෙදර එයි. අර කෙල්ලත් හැමදාම වගේ අදත් කියයි ගෙදර ඇවිත් අම්මත් එක්ක කතා කරන්න, එයාට මෙහෙම හැංගි හැංගි මාව හම්බවෙන්න බෑ කියලා. ඒ වෙලාවට ඉතිං මාත් වෙනදා වගේම කියයි තව ටිකක් ඉවසල ඉන්න බබෝ ඒකට තව කල් තියෙනවා කියලා. මගේ ජීවිතේ ඉතිං හැමදාම එහෙම තමයි.
මගේ විතරක් නෙමෙයි. ගොඩාක් ප්‍රේම කතාවල යථාර්ථය මේක තමයි. 😊
*********************************************************************************************************************************************************************
ආදරේ කළත් ඔයාට
මහ මෙරකට වැඩියෙන්
තාමත් මං කන්නෙ බොන්නෙ
තාත්තාගෙ පඩියෙන්..
දවස ගෙවන්නට ගානක්
නුඹේ අතේ ඇතී
අපි හොය හොය ගියෙ මල් වතු
ටිකට් කඩන් නැතී..
තාලයකට අහු මුළු වල
බිම් මල් පිපි පිපී
රහසින් කිවු හැටි මතකද
කවුරුන් හරි දකී..
නුඹ කැන්ඳන් යන්න කියලා
හිතුණ පලියට
බැහැ කැන්ඳන් යන්න තවම
ඉන්නෙ කුලියට..
යනකල් මට ලබාපු සෙනසුරා
සිකුරුට
තව පොඩ්ඩක් ඉමුද මෙහෙම
හිටපු විදිහට..
(ගීතය උපුටා ගැනීමකි.)
Short story by Pramodi Peramuna 💜️
(ජායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න
2 comments:
real life story 😊😊😊
Thank You ❤️
Post a Comment