Monday, 13 May 2019

හිනැහෙන තරමට ඔබ සුන්දර නම් - Short story by Pramodi Peramuna

හිනැහෙන තරමට ඔබ සුන්දර නම් -Sinhala Short story


එදින ආයතනය එතරම් කාර්යබහුල දිනයක් නොවීය. සුරාජ් සිටියේ දිවා ආහාරය ගැනීම සඳහා සූදානම් වෙමිනි. ඔහුගේ කළණ මිතුරා වූ හසිත ඔහු සොයා ආවේ ඒ අතරතුරයි.

"මචං අද හවසට මොකද වෙන්නෙ..?"

හසිත ඇසුවේ සුරාජ් ගේ මේසයට ඉදිරිපස පුටුවේ වාඩි ගනිමිනි.

"ම්.. අද නම් විශේෂ වැඩක් නෑ මචං. ඇයි මොකද්ද කේස් එක..?"

"නෑ මචං අද චාමරී ගෙ බර්ත් ඩේ එකලු. ඉතිං හවසට එයා ගානෙ ඔෆිස් එකේ අයට පොඩි ට්‍රීට් එකක් දෙනවලු. උඹව හම්බුණේ නෑ කියලා මට කිව්වා උඹටත් පණිවිඩේ කියන්න කියලා."

සුරාජ් නිහඬවම කල්පනාවට වැටුණි.

"මොකද උඹ කල්පනා කරන්නෙ. ඇයි මොකුත් අවුලක් ද..?"

"නෑ බං. මං මේ කල්පනා කරේ ඕවට යන්න ගිහින් මොකුත් ලෙඩක් වැටෙයි ද කියලා.."

"ඒ කොහොමද ලෙඩක් වැටෙන්නෙ.."

හසිත ඇසුවේ විමතියෙනි.

"උඹට හංඟන්න දෙයක් නෑනෙ බං. ශයනි ඔය චාමරී එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නෙ. මතකනෙ දවසක් බොස්ගෙ වැඩකට චාමරී එක්ක හෙඩ් ඔෆිස් ගියා කියලා එෆෙයාර් එකත් බ්‍රේක් කරන්න ගියෙ.."

හසිතට සිනා පහළ විය. 

"අපෝ මොකද මට අමතක. උඹ මෙතන ඒකට මූඩ් ගහන් ඉඳලා තව පොඩ්ඩෙන් ජොබ් එකත් නැති කරගන්නවා.."

හසිත කියන්නෙ සිනාසෙමිනි. සුරාජ් සිහින් සිනාවක් පෑවේය.

"ඒ දවස් මතක් කරන්නවත් මං කැමති නෑ බං. දැන් ඉතිං ගෙවල් එක්කත් කතා කරගෙන ලබන අවුරුද්දෙ මැරි කරන්නත් ඉන්න එකේ ඕවට ගිහින් නිකං ලෙඩ දාගන්න බෑ මචං. උඹලා  පලයල්ලා.."

සුරාජ් කීවේ සුසුමක් හෙළමිනි.හසිතට තම මිතුරා කෙරෙහි දැනුණේ මහත් වූ අනුකම්පාවකි.

"අනේ මන්දා බං උඹත්. උඹ තමයි බොරුවට ඒකි කියන කියන පදේටම නටන්නෙ. එතකොට ඒකි යන්නෙ අර පාටි මේ පාටි කිය කිය. ඒවා හොඳයි. ඒකිටත් කියපංකො දැන්වත් ටිකක් පිළිවෙලකට ඉන්න කියලා. මං උඹට කිව්වෙ නෑ මං මේ ලඟදි දවසකත් දැක්කා ශයනි නිරෝෂන් කාරයත් එක්ක තිලකවර්ධන එකට රිංගනවා.."

හසිත කීවේ තරහ සහ පිළිකුල මුසුවූ හැඟීමකින් යුතුවය.

"උන් දෙන්නා පොඩි කාලෙ ඉඳන්ම යාළුවොනෙ බං. උඹත් ඒක දන්නවනෙ. අනික නිරෝෂන්ට බඳින්න කෙල්ලෙකුත් ගෙදරින් කතා කරලනෙ ඉන්නෙ.."

"ඒක මං දන්නවා. ඒ වුණාට ඔය වැඩි භජනෙ එච්චර හොඳ දෙයක් නෙමෙයි බං. දැන් උන් පොඩි ළමයි නෙමෙයි නෙ. දකින මිනිස්සු මොනවද හිතන්නෙ.."

"මචං ශයනි ඉස්සර ඉඳන් හැදිලා තියෙන විදිහනෙ ඒ. එයා ඔය ගියාට වැරදි විදිහට හැසිරෙන් නෑ. මං එයා ගැන දන්නවා. එයා මට ආදරෙයි. එයාට තාම ජීවිතේ ගැන බරක් පතලක් නෑ. තාම පොඩි ළමයෙක් වගේ හිතන්නෙ. ඒකයි ඒ. එයාගෙ තාත්තිත් ඉතිං තාම එයාව හුරතල් කරන එකේ මට ඕවට එපා කියන්න බෑ බං. ඒක එයාගෙ සතුටනෙ. අනික එයාට හැමතැනම යාළුවො. එයා එෆෙයාර් එක පටන් ගද්දිම මට කිව්වෙ යාළුවො නම් අත අරින්න කියන්න එපා කියලා. මං ප්‍රොමිස් වුණා මචං. මට දැන් ඕවා කියන්න ගිහිල්ලා එයාව නැති කරගන්න බෑ. මං එයාට ගොඩක් ආදරෙයි. මට එයාව ඕනෙ.."

සුරාජ් හැමදාම කියන්නේ එකම බණ ටිකය. උඹට හොඳයි නම් මට මොකද. හසිත සිතින් සිතුවේය.

"හරි හරි මචං ඒවා උඹේ තීරණ. මට ඕවට මොකුත් කියන්න බෑ. ඒ කියන්නෙ උඹ එන්නෙ නෑ නෙද. අපරාදෙ අද චතුරංගයත් එනවා කිව්වා. මං චාමරීට කියන්නම් උඹ එන්නෙ නෑ කියලා."

හසිත කීවේ අසුනින් නැඟිටින අතරතුරයි.

"එක්කො මට එන්නත් හිතයි බං. අද ශයනි යාලුවො කට්ටියක් එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා කිව්වා හවස. එහෙම වුණොත් මං එන්නම්.."

"ඕකනෙ බං මං කියන්නෙ ශයනි ෆිල්ම් බලන්න යනවා උඹ නැතුව. උඹට තමයි අපි එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න එන්න බැරි.. ඒ කියන්නෙ දැන් උඹ එනවද."

"හරි ඔන්න ඔහෙ යමං එහෙනම්.."

"හරි එහෙනම් මං ගියා. හවසට සෙට් වෙමු. දැන් කාපං ඔය බත් එක.." 

හසිත පිටව ගියේ සිනාසෙමිනි.

මධ්‍යම පාන්තික පවුලක දෙවන දරුවා වූ සුරාජ් ඉතාමත් හොඳ ගතිගුණ ඇති වැදගත් කාටත් ප්‍රිය මනාප චරිතයක් විය. ඔහුත් හසිතත් කළණ මිතුරන් බවට පත් වූයේ සරසවියේදී ය. දැන් ඔවුන් දෙදෙනාම එකම ආයතනයක විධායක නිළදාරී වරුන් ලෙස සේවය කරයි. නිරෝෂන් යනු ද ඔවුන්ගේ සරසවියේ ඔවුන් සමඟ එකට සිටි මිතුරෙකි. සුරාජ්ට ශයනි මුණ ගැසෙන්නේද නිරෝෂන් ගේ නිවසේ පැවැති සාදයක් අතරතුරය. ඒ මීට අවුරුදු පහකට පමණ ඉහතදීය. 

මිල මුදල් යහමින් ගැවසුණු පවුලක එකම දියණිය වූ ශයනි ඉතාමත් කෙළිලොල් දඟකාර තරුණියක් විය. කුඩා කල සිටිම පියාගේ සුරතලිය වූ ඇයට කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නැත. ඇයට අවශ්‍ය සියලු දෑ අවශ්‍ය වූ මොහොතේම සපයා දීමට ඇගේ පියා සූදානම්ව සිටියේය. එමනිසා ඇයට තිබුණේ ඉතා සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයකි. 

නිරෝෂන්ගේ පවුල සහ ශයනි ගේ පවුල බොහෝ කාලයක සිට ඉතා ලඟින්ම ඇසුරු කළ පවුල් දෙකක් විය. එමනිසා ඔවුන් දෙදෙනා කුඩා කළ සිටම හොඳ මිතුරන්‍ ය. ඉතා සමාජශීලී යුවතියක වූ ශයනිට නිරෝෂන් ඇරුණු විට තවත් බොහෝ මිතුරු මිතුරියන් රාශියක් විය.

ශයනිව මුලින්ම දුටු විටම සුරාජ් ගේ සිත ඈ කෙරේ බැඳුණි. ඇගේ ඉතා ආකර්ෂණීය වූ රුව ඔහුගේ හද පතුලටම කා වැඳුණි. නමුත් ඔහුගේ සමාජ මට්ටම නිසා ඔහු එය පිටට පෙන්වීමට මැළි විය. එහෙත් ඔහු නොදැන සිටි කරුණ වන්නේ ඇයද ඔහුගේ ප්‍රිය මනාප කඩවසම් රුව කෙරේ ආකර්ෂණය වී සිටි බවය. ඔහු එය දැන ගත්තේ පසුවය. ඔවුන්ගේ පෙම් සබඳතාවයට මූලාරම්භය ලබා ගත්තේද ශයනි ය. නිරෝෂන් මඟින් සුරාජ් ගේ දුරකථන අංකය ලබා ගත් ශයනි ඉතා ඉක්මනින් ඔහුට ලං විය. ඇයම ඔහුට ආදරේ බව ප්‍රකාශ කළාය. එදින සුරාජ්ට මුළු ලෝකයම ලැබුණා සේ දැනුණි. ඔහු එදින සිට පණ සේ ඇයට ආදරය කළේය.

බොහෝ කාලයක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුන් පසුව විවාහ වීමට තීරණය කළේය. මුලදී ශයනිගේ පියා ඊට තදින්ම විරුද්ධ වූයේ සුරාජ් ගේ සමාජ පන්තිය සළකමිනි. නමුත් පසුව ශයනි ගේ දැඩි ඉල්ලීම මත ඔහු ඒ සඳහා කැමැත්ත පල කළේය. මේ වන විට ඔවුන් සිටියේ ලබන වසරේ විවාහ වීමට දින නියම කර ගෙනයි.

 ඔවුන්ගේ ආයතනයට යාබදව පිහිටි තරු පන්තියේ හෝටලයක එළිමහනේ චාමරී ඇයගේ උපන් දින සාදය සූදානම් කර තිබුණි. සුරාජ්, හසිත, චතුරංග ඇතුළු ඔවුන්ගේ මිතුරන් කීපදෙනෙක් එක මේසයක් වටා රොක් වී කතා බහ කරමින් සිටියේ ය. හසිත හෙමින් සුරාජ්ට ඉඟියක් දුන්නේ ඒ අතරතුරයි.

"මචං සුරාජ්.. අනිත් අයට නෝන්ඩි නැති වෙන්න හෙමීට උඹේ වම් පැත්ත බලපන්.."

හසිත පවසන්නේ රහසෙනි. 

"ඇයි බං මොකද්ද.."

සුරාජ් ඇසුවේ විමතියෙනි.

"බලපංකෝ හෙමිට කෑ ගහන් නැතුව.."

හසිතගේ පෙරැත්ත නිසා සුරාජ් හෙමින් හසිත කියූ දිශාවට නෙත් යොමු කළේය.

ඔහු එකවරම දුටුවේ වාහනේකින් බැස ගත් ශයනි එම වාහනය පදවා ගෙන ආ තරුණයාට තුරුළු වී හෝටලය දෙසට පිය නඟන අන්දමයි. ඔහුගේ මුළු සිරුරම හිරි වැටී ගොස් මස් පිඩු නලියන්නට පටන් ගත්තේ ය. ඔහුට උන් හිටි තැන් අමතකව ගොස් ය. 

තම මිතුරාගේ වෙනස හොඳින් තේරුම් ගත් හසිත හෙමින් ඔහුට කතා කළේය. 

"මචං කලබල වෙන්න එපා. උඹ මෙතන කලබල වෙලා දඟලන්න ගත්‍තොත් මේක අනිත් උන්ටත් නෝන්ඩි වෙනවා. හෙමින් මාත් එක්ක නැඟිටලා වරෙං.අපි ගිහින් හරියටම බලමු මොකද වෙන්නෙ කියලා. වරෙං."

අනිත් අයට නොදැනෙන සේ එතැනින් නැඟිට ගත් ඔවුන් දෙපල ඉක්මන් ගමනින් හෝටලය ඇතුළට දිව ගියේය. ශයනිට නොදැනෙන සේ ඔවුන්ද ඇයගේ පිටුපසින් ඇවිද ගියේය. ඔවුන් ගියේ හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙතටයි.

"අපි උදේ රූම් එකක් බුක් කරා. මට ඒකෙ කී එක ගන්න පුළුවන් ද..?"

ශයනි  සමඟ පැමිණි තරුණයා පවසනු ඔවුන්ට ඇසුණි. සුරාජ් ගේ හිසේ එකවර අකුණු දහසක් පුපුරා යනු දැනුණි. ඔහු හසිතගේ බාහුව තදින් ග්‍රහණය කර ගත්තේ සිටගෙන සිටීමටවත් වාරු නැති බවක් දැනුණු නිසාය. මිතුරා වත්තන් කරගත් හසිත කතා කරන්නට විය.

"මචං මං මේ දේ වෙන බව දැනන් හිටියා. උඹට මේක තේරුම් කරන්න ට්‍රයි කරා. ඒත් වැඩක් වුණේ නෑ. ඒ නිසා උඹම දවසක මේක තේරුම් ගනීනෙ කියලා මං කටවහන් හිටියා. මචං උඹ වැටෙන්නවත් දුක් වෙන්නවත් එපා. උඹ සතුටු වෙයන්, දෙයියන්ට පින් සිද්ද වෙන්න උඹ එකිගෙන් බේරුණා කියලා..."

*********************************************************************************************************************************************************************

පිපිපුන් මලටම
බඹරුන් ඇදී එන
බව මම දැන ගෙන සිටියා..
බඹරුන් ඇඳුණට
මගෙ මල කිසි දින
රොන් නොම දෙන බව සිතුවා..

හිනැහෙන තරමට ඔබ සුන්දර නම්
මුමුණන හැම වදනම මිහිරී නම්
එහෙනම්.., 
රළු මුහුදත් මට මිහිරියි දැන්..

ලියවෙන තරමට ඔබ පිවිතුරු නම්
දෙතොලෙන් කියවෙන උණුහුම රස නම්
එහෙනම්..,
රළු මුහුදත් මට මිහිරියි දැන්..

ඉඟියෙන් ඉඟියෙන් 
රළ සැර වැඩි වී
සැඩ සුළඟක රෑ මැව්වා..
හැමදින මම ඔබ
මගෙමයි සිතුවට
මගෙ මල නුඹ නොම සිතුවා..

(ගීතය උපුටා ගැනීමකි.)

Short story by Pramodi Peramuna 💜️



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

තවත් කතා කියවීමට මෙතන click කරන්න

පියාසරන සිතුවිලි - Flying Thoughts
















No comments: