සීතල යුද්දය - Sinhala Short story
එක දිගටම වැඩ වලට හිර වෙලා ගත කරපු ජීවිතේට පොඩි විවේකයක් දෙන්න හිතලා සතියක්ම නිවාඩු දාලා ගමේ ආවා. වෙලේ සීතල හුළං වැඳි වැඳී අම්මාගෙ අතින් හදන බත් ටික කොස් ගහ යට බංකුවෙ වාඩි වෙලා හෙමින් හෙමින් ගිලිනකොට දිවට දැනෙන ඒ රස කොළඹ හිල්ටන් එකේ කෑම එකකවත් නැතුව ඇති. ඒ තරම් රසයි. කොළඹ පයිප්ප වල උණු වතුර ඇඟට වැටෙනකොට ගමේ ඇළේ ඉස්සර දියබුං ගහපු හැටි හැමදාමත් මට මැවිලා පෙනුණා. ඇළ පැත්තෙ තාම යන්නත් බැරි වුණා. ඊයෙ රෑ වෙලා ඇවිත් නා ගත්තෙ පල්ලෙහා ළිඳෙන්. හවසටවත් යනවා කියලා හිතලා මං අන්තිම බත් ගුලියත් කටේ ඔබා ගත්‍තා.
එතකොට තමයි දැක්කෙ අම්මා බාගෙට කඩපු පලා මිටකුත් අරන් ගෙදර පැත්තට දුවගෙන එනවා. මං පිඟානත් ඉඳුල් අතින්ම අරන් නැගිට්ටා.
"අම්මෙ මොකද මේ කලබලේ.."
මං ඇහුවෙ මොකුත් හිතා ගන්න බැරුව.
"අනේ පුතේ මාමලාගෙ හිච්චි පුතා ආවා. කෙල්ල විභාගෙන් පාස්ලු පුතේ. නිකං නෙමෙයි. ඉහළින්ම.."
මොනවා. චූටි මැණිකෙගෙ ප්‍රතිඵල ඇවිත් ද. අම්මා කිව්ව දේ අහලා මට දැනුණු සතුට නිම් හිම් නැති වුණා.
මං කතා නොකළට අම්මා මගේ මූණෙන් සේරම දැන ගන්න ඇති. අම්මට හරි ලස්සන හිනාවක් ගියෙ එතකොට. මගේ කට වැහුණු නිසා අම්මා ආයෙත් කතා කරන්න ගත්තා.
"පුතේ හවසට නැන්දා එක්ක චූටි මැණිකෙ පන්සල් යනවලු. මාත් ඒ එක්ක යන්න කියලා. උඹත් එනවා නම් ලෑස්ති වෙලා වරෙං.."
අම්මා කිව්වේ අර ලස්සන හිනාව මූණෙ තියාගෙනමයි. නැතුව. මං නොගිහින් කොහොමද. ගිය පාර ගමේ ආව වෙලේ මං බෝධීන් වහන්සේට බාරෙකුත් වුණානෙ.
අම්මා මේ වගේම කලබලෙන් දුවගෙන ආව දවසක් මට මතකයි. එතකොට මං උසස් පෙළ කරනවා. අම්මා දුවගෙන ඇවිත් අක්කට රහසක් කිව්වා. ඒත් ඒ රහස මට ඇහුණා. අම්මා කිව්වෙ අන්න චූටි මැණිකෙත් ගෙට වෙලා කියලා. ඉතිං එදා ඉඳන් තමයි චූටි මැණිකෙ මගෙන් ටික ටික ඈත් වෙන්න ගත්තෙ. ඒත් එයා ඈත් වෙන්න ඈත් වෙන්න මගේ හිත තව තව එයාට ලං වුණා.
චුටි මැණිකෙ කියන්නෙ මගෙ මාමගෙ දුව. මට වඩා අවුරුදු පහක් බාල වුණාට පොඩි කාලෙ අපි හිටියෙ එකට සෙල්ලම් කරේ කෑවෙ බිව්වෙ එකට. ඒ කෙල්ලත් ඒ කාලෙ මගෙ පස්සෙමයි. හැමදේකටම මාව ඕනේ. කටේම තියෙන්නෙ සුදු අයියා සුදු අයියා තමයි. ඉතිං ඒ දවස් වල ඉඳන් මයි මගේ හිත එයාට ලෙංගතු වෙන්න පටන් ගත්තෙ. ඒත් මං ඒ පුංචි කෙල්ලට ඕවා අඟවන්න ගියෙ නෑ. මාත් ඔහෙ බලන් හිටියා. වෙන දෙයක් වෙයිනෙ කියලා.
මං කොළඹ ගියාට පස්සෙ අපි හුඟක්ම දුරස් වුණා. ඒත් මට පුළුවන් හැම වෙලාවකම මං අම්මගෙන් එයාගෙ විස්තර ඇහුවා. අන්තිම පාරට මං ගමේ ආව වෙලේ මං එයාට මගේ හිතේ තියෙන දේ ටික ටික ඇඟෙව්වා. කෙල්ලත් හරි කපටියි. එයා ඒක නොතේරෙනවා වගේ හෙමීට ඒක මඟ ඇරියා. එයා නොකියා කිව්වේ විභාගෙ ඉවර වෙනකම් ඒවා හිතන් නෑ කියලා. දැන් නම් කාලෙ හරි. ඒත් මොනවා කියයි ද චූටි මැණිකෙ. සමහර විට කැමති නැති වෙයි. ඇත්තටම කිව්වොත් මේක හිත් දෙකක් අතර සීතල යුද්දයක්. කවදා මේ සීතල යුද්දෙ ඉවර වෙයිද කියලා දන්නෙ ඉතිං චූටි මැණිකෙම තමයි.
වෙන දෙයක් වෙන්න කියලා හිතලා මාත් සුදු ඇදුමක් දාගෙන අම්මා එක්ක පාරට ආවා. චූටි මැණිකෙලා ඈතින් එනවා. මට නම් පෙනුණෙ කෙල්ල දැන් තවත් ලස්සන වෙලා කියලා. ඒත් මගේ ඇස්ම මාව රවට්ටනවද කියලත් මට ආයෙ හිතුණා. හිතන්නත් දෙයක් නෑ. කෙල්ල කවදත් ලස්සනයි.
කතාවක් නැතුවම අපි පන්සලටත් ආවා. ඒත් මට නම් හිතුණෙ ඒ ඇස් කතා කරනවා කියලා. එයා තෙල් දාලා පහන් පත්තු කරන්න ලෑස්ති කරා. මාත් එයා වටේම කැරකුණා. කෙල්ල පහන තියන ගමන් හිනා වෙනවා. හිතේ තියෙන දේ කියා ගන්න බැරුව මං දඟලන දැඟලිල්ල එයාට තේරිලා වෙන්න ඇති.
හිතේ දෙගිඩියාව පැත්තකින් තියලා මං කෙළින්ම ගියා එයාට කතා කරන්න. එයා හිටියෙ බෝ මළුව අමදින ගමන්.
"චූටි මැණිකෙ දැන් වත් අර කාරණාව ගැන මොකද කියන්නෙ.."
මං හෙමීට ඇහුවා. හැබැයි කෙළින්. නියම පිරිමියෙක් වගේ. කෙල්ලගෙ මූණ රතු වෙලා කෙල්ලට හරි ලස්සන හිනාවක් ගියා. ඒ හිනාවෙන්ම මට එයාගෙ උත්තරේ හිතා ගන්න පුළුවන් වුණා.
"ඒ කියන්නෙ කැමතිද..?"
මං ආයෙ ඇහුවා. යන්තම් ඔලුව හොල්ලලා කෙල්ල බිම බලා ගත්තෙ මූණ හොදටම රතු කරගෙන. අනේ ඉතිං ලැජ්ජාකාරි. මට එහෙම හිතුණා. එයාට ටිකක් තනියෙන් ඉන්න ඉඩ දීලා මං අම්මා ඉන්න පැත්තට යන්න හැරුණේ මේ සුබ ආරංචිය මුලින්ම අම්මට කියන්න හිතලා.
දැන් ඉතිං අද ඉඳන් හැමදාම ඔය රතු වෙන සුදු මූණේ අයිතිකාරයා මේ මම ම විතරයි. ඔයාගෙ මේ සුදු අයියා විතරමයි. හරිද මගෙ චූටි මැණිකෙ. ආපහු පාරක් පිටිපස්ස හැරිලා එයා දිහා බලන ගමන් මං එහෙම හිතුවා..
*********************************************************************************************************************************************************************
ඔය නෙත් යුග නිල්
බිඳිනවා මගෙ සිල්
තෙල් මල් අරගෙන කෙල්ලේ ඔබ
යනවද පන්සල්..
ඔබෙ ආදර විල්
හීරේ කල් යල්
බල බල මම හිටියා නංගෝ
බොහෝමයක් කල්..
අමතක නෑ මට කීවා ඔබ
නුහුරු බසින් ඈත්වෙලා,,
තව ටික දවසක් ඉන්නව මම
ආදර ලෝකෙන් ඈත්වෙලා...
දැන් හරි කාලේ තිබුනා අද
දේ දුන්නක් පාත්වෙලා,,
ආරංචිය ලැබුනා මට සුභ
විභාගෙ ඔබ පාස්වෙලා....
හිනා වෙවී මං ගැන හිතලද
පහන තියන්නේ,,
මම අපි දෙන්නගෙ පෙම වෙනුවෙන්
බාර වුනානේ..
කවද ද පෙම් සීතල යුද්ධය
නිමා කෙරෙන්නේ,,
දැන් හරිනේ කෙල්ලේ කාලය
මොකද කියන්නේ..??
(ගීතය උපුටා ගැනීමකි.)
Short story by Pramodi Peramuna 💜️
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න
1 comment:
♥️♥️♥️
Post a Comment