Tuesday, 7 May 2019

ලඳුනේ - Short Story by Pramodi Peramuna

ලඳුනේ - Sinhala Short Story


කිසිම තේරුමක් නැතුව ඔහේ එක තැන පල්වෙවී තිබ්බ සෙල්ලක්කාර ජීවිතේට තිත තියන්න මං තීරණේ කරේ එයාව මුලින්ම හම්බවුණ දවසෙ. මුව පැටියෙක් වගේ ඒ අහිංසක ඇස්වල තිබ්බ අසරණකම දැකලා මගේ හිත කීරි ගැහිලා ගියපු හැටි තාමත් මට දැනෙනවා. කදුළු බේරෙන ඒ අසරණ මූණෙ කාටවත් නොකියපු ලොකූ කදුළු කතාවක් තියෙනවා කියලා මට තේරුණා. ඒ අහිංසකී ඒ කතාව කියන්න මාවම තෝරගත්තෙ මං ගැන පුංචිම හරි විශ්වාසයක් ඒ වෙලාවෙ ඒ අහිංසක හිතට දැනිච්ච නිසා වෙන්න ඇති.


එයා බිනරි. තාම වයස අවුරුදු විසි තුනක පුංචි කෙල්ලක්. නම වගේම එයාගෙ රූපෙ තිබුණෙත් බිනර මලක වගේ හරිම චමත්කාර ගැමි සුන්දරත්වයක්.

"ඒකිට තියෙන්නෙ පට්ට ගැමි ලුක් එකක් බොස්. ඒ නිසා මේ දවස් වල කස්ටමර්ස්ලා ඉල්ලන්නෙම ඒකිව. බොසුත් ට්‍රයි කරලා බලන්නකෝ මං බොරුද කියන්නෙ කියලා."

ඒ ජගත්. ජගත් තමයි මේ ඒරියා එකේ මේ බිස්නස් එක රන් කරන්නෙ. මං මෙතෙන්ට එද්දි ජගත් බිනරි ගැන මට කිව්වෙ ඒ විදිහට. ඒත් මං ඇවිත් තියෙන්නේ කොච්චර පව්කාර ගමනක්ද කියලා මට තේරුණේ ඒ අහිංසක කෙල්ලගෙ කතාව ඇහුවට පස්සෙ. නැති බැරි කමට රස්සාවක් හොයාගෙන ගමේ ඉදන් කොළඹ ආව මේ අහිංසකීට අන්තිමට නවතින්න වෙලා තිබුණෙ මේ අපායෙ. මං මෙතෙන්ට ආවෙ මොනා හිතේ තියාගෙන වුණත් ඒ අහිංසක මල් කැකුළ තලලා පොඩි කරලා දාන්න මට හිත දුන්නෙ නෑ. ඒත් මේ වෙනකොටත් ගොඩාක් පව්කාරයො ඒ මල් කැකුළ තලලා පොඩිකරලා විනාස කරලා දාලා තිබුණා.ඒ වෙලාවෙ මට හිතුණෙ අනේ මට එයාව කලින් හම්බවුණා නම් කියලා.

මං එදා එතනින් ආවෙ එයාව කොහොම හරි ඒ අපායෙන් ගලව ගන්නවා කියන පොරොන්දුව එයාට දීලා.ඒ වගේම මං ඒ පොරොන්දුව ඉෂ්ට කරා.ඒ විතරක් නෙමෙයි මං එයාව හැමදාටම මගේම කරගත්තා.අපි දෙන්නා නීතියෙන් විවාහ වුණා.මේ අපි දෙන්නගෙ මංගල රාත්‍රිය.මාස ගානක් තිස්සෙ පිරිමින්ගෙ පව්වලට කරගහපු ඒ බිනර මල අදින් පස්සෙ මගේ විතරමයි.එහෙම හිතනකොට මට දැනුණෙ කියා ගන්න බැරි තරම් ආඩම්බරයක්.ගද ගහන අමිහිරි අතීතෙක අයිතිකාරයෙක් වෙච්ච මම අද පිළිවෙලක් ඇති මිනිහෙක් වෙලා.ඒ විතරක් නෙමෙයි අහිංසක ලස්සන බිරිදකගෙ ආදරණීය සැමියෙක් වෙලා.ඒ සේරම මගේ බිනර මල නිසා.

හීනියට මගේ මූණෙ හිනාවක් ඇදිලා ගියෙ මගේ බිනර මල මං ලගට එනවා දැකලා.අද එයාව මට පෙනුණෙ වෙනදටත් වඩා ලස්සනට.එදා තිබුණු අසරණ කම වෙනුවට අද ඒ මූණෙ තිබුණෙ හරිම නිවිච්ච බවක්.අනේ ඒත් ඒ ඇස්වල කදුළු.

"ඇයි මගෙ මැණික..?"

මං ඇහුවෙ මොකුත් හිතාගන්න බැරුව.එයා එකපාරටම මගේ අත්දෙක තද කරලා අල්ලගත්තා.

"අනේ මහත්තයො ඔයා මං වෙනුවෙන් කරපු හැමදේකටම ඔයාට මං ගොඩාක් ණයයි.ඔයාට ගොඩාක් පිං.ඒත් රත්තරනේ මට සමාවෙලා අදවත් මට නිදහසේ නිදා ගන්න දෙනවද..?"

ඒ සංවේදී ඉල්ලීම මගේ ඇට මිදුළු වලට පවා දැනුණා කිව්වොත් මං හරි.අනේ ගෙවුණු හැම රෑකම මගෙ අහිංසකී කොච්චර වේදනා හිරිහැර විදින්න ඇත්ද කියලා හිතනකොට මාව හිරිවැටිලා ගියා.මං කිසිදෙයක් නොකියා එයාව මගේ පපුවට තද කරගත්තා.

"නිදියන්න දෙන්නම් හැබැයි මගේ මේ පපුව උඩ.අද විතරක් නෙමෙයි මේ පපුවෙ හුස්ම නවතින දවස එනකම් හැමදාම."

"ඔයා දෙවි කෙනෙක් රත්තරන් මහත්තයො."

එයා කිව්වේ එච්චරයි. එයාගෙ ඇස්වලින් ගලාගෙන ගියපු කදුළුවල සීතල මගේ පපුවට දැනුණෙ එයා ගැන මගේ හිතේ මහ හුගක් ආදරේ වැඩි කරලා. අද ඔයා අඩයි. ඒත් අදින් පස්සෙ කවදාවත්ම ඔය ඇස් වලින් කදුළු ගලන එකක් නෑ මගෙ බිනර මල. මට ඒක විශ්වාසයි.

*****************************************************************************************************************

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළියෙ රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ලඳුනේ..

සමාජය විසින්ම වරදට ඇද දමන ගැහැණිය වරද කාරියක ලෙස හංවඩු ගසන්නේද එම සමාජය විසින්ම වීම කණගාටුවට කරැණකි. එවැනි සමාජයක මෙවැනි බෝසත්වරු කලාතුරකින් හෝ බිහිවේවාය යන්න මාගේ පැතුමයි..

Short story by Pramodi Peramuna 💜️




පියාසරන සිතුවිලි - Flying Thoughts


1 comment:

Anonymous said...

Heart touching but unfounded reality..