Monday, 6 May 2019

එපා යළි හමුවන්න - Short Story by Pramodi Peramuna

එපා යළි හමුවන්න (Short Story)


සැඳෑ අඳුර හෙමි හෙමින් මහ පොළොව සිප ගනිමින් තිබුණි. තම අත තිබූ පොතෙන් දෑස ඉවතට ගත් විහංසා හොඳටම ඇල් වී තිබුණු තේ කෝප්පය තොල ගාන්නට වූයේ බොහෝ වේලාවක් පොත දෙසටම යොමාගෙන සිටි තම දෑසට පුංචි විවේකයක් දීමේ අරමුණෙනි.

මුළුතැන්ගෙය දෙසින් දඩිබිඩි හඬක් ඇසේ. අම්මා රාත්‍රී ආහාරය පිළියෙල කරන්නට සූදානම් වනවා විය යුතුය. නැඟිට ගොස් අම්මා හා එකතු වී අම්මාට උදව් වන්නට සිතුණත් පොත කියවා අවසන් නොකර එතැනින් නැඟිට යන්නට ඇයට මැළිකමක් දැනුණි.

ඇය මේ පොත කියවන්නේ කීවෙනි වතාවට දැයි ඇයට මතකයක් නැත. එතරම්ම ඇය මෙම පොත කියවා ඇත. ඇය එයට ඉතා ප්‍රිය කලාය. සැබැවින්ම ඇය එයට පෙම් බැන්දාය.

එහි තිබෙන්නේද තමා වැනිම යුවතියකගේ කතාවක් බව ඇයට සිතී ඇති වාර ගණන අනන්තය. ඇය යළිත් පොත දෙසට දෑස් යොමන්නට විය.අරමුණකින් තොරව ඔහේ එය පෙරළුවාය. එහි තිබුණු කවි පේළි කිහිපයක් ලඟ ඇගේ දෑස නැවතිණි.

"ගියා නුඹ යළිත්
සුසුමක් තියා හිත ලඟ
සිනාසෙමි ඉතිං මං
ඉකිබිඳිනු බැරි කමට..
එදා පිපි පෙම් කුසුම්
මුකුලිත වී යන ලෙසම
ඔබෙන් ලද සෙනේ ගඟ
ගලා ගොස් සාගරය වෙත..
වසන්තය නිමා වී
ඔබේ හඬ මැකෙන විට
බලා ඉමි ස්නේහයෙන්
වසන්තය පැමිණෙන තෙක්
යළිත් නුඹ සමඟ.."

ඇය නැවත වරක් එය කියෙව්වා ය. තමන් ද නැවත ඔහු එන තෙක් බලා සිටිනවාදැයි ඇය සිතින් ප්‍රශ්න කළාය. නැත. කිසිසේත්ම නැත.ඔහු යන්නට ගොස් අවසන්ය. තමා එපා කියා ගොස් අවසන්ය. ඉතින් කුමකට තවත් බලා සිටින්නේදැයි ඇය සිතුවාය. එනමුත් ඇගේ උඩු සිත කෙතරම් ප්‍රතික්ෂේප කලද යටි සිත තවමත් ඇත්තේ ඔහු ලඟ බව ඇය අමතක කරන්නට වෙර දරන සත්‍ය බව ඇය දැන සිටියා ය.

ඇයට කරැණාරත්න දිවුල්ගනේ මහතා ගයන ගී පද පෙළක් මතකයට නැඟුණි.

"ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී.."

"ආයේ නොආවට කමක් නෑ ඒත් මං මැරුණු දවසටවත් ඇවිත් යන්න.." ඇය අවසානයේ ඔහුට කිවූ ඒ වචන යළිත් සිහිපත් කළාය.

ඔහු හා ගත කළ කාලය සිහිනයක් මෙන් ඇයට දැනුණි. මතක් කරන විට හිතට වේදනාවක් ගෙන එන වේදනාවක් බව දැන දැනම යළි යළිත් සිහි කරන කිසිදිනෙක යළි සැබෑවක් නොවන සිහිනයකි.

අත් පටලාගෙන පාරවල් දිගේ ඔහේ ඇවිද ගිය කාලය ඇයට අමතක නැත.ඔහු හා ගෙවුණු එක තත්තපරයක්වත් ඇයට අමතක නැත. එහෙත් ඔහුට ඒවා මතක නැතැයි ඇයට සිතුණි. මතක තිබුණා නම් යළිත් එන්නට ඔහුට ඕනෑ තරම් කාලය තිබුණි. නැත. ඔහු යළිත් එන්නේ නැත. ඇය තම හිතට තදින් කියා ගත්තාය.

ඇයගේ හිත යළිත් ඈ අමතක කරන්නට වෙර දරණ අතීතය වෙත දිව ගියේ ඇයටත් හොරෙනි.

ඒ ඇයට අමතර පන්ති තිබුණු දිනයකි. එදින පන්තිය නිමා වීමට වෙනදාට වඩා පමා වී තිබූ  නිසා ඇය බස් නැවතුමට පැමිණියේ ඉක්මන් ගමනෙනි. වැඩ නිමවී නිවෙස් බලා ඇදෙන බොහෝ පිරිසක් බස් නැවතුම වෙත පැමිණෙමින් තිබුණි. බසයක් එනවාදැයි බලමින් සිටි ඇයගේ නෙතට එකවරම හසු වූයේ තරුණ පිරිමි රුවකි.පෙනුමෙන් ඇයට වඩා අවුරුදු දෙක තුනකට වැඩිමල් අයෙකු යැයි සිතිය හැකි පෙනුමක් ඔහු සතු විය. එහෙත් ඇය වැඩි උනන්දුවකින් ඔහු දෙස නොබැලුවාය. දවසම විඩා වී සිටි ඇයට ඒ මොහොතේ අවැසි වූයේ බසයක නැඟ ඉක්මනින් ගෙදර යන්නට යි.

තමා දුටු රුව තමා අසළටම පැමිණ තමා පිටුපසින් ගමන් ගන්නා බව ඇයට දැනුණි.

"ආව්.."

එක්වරම හිස පෙදෙසින් ඇයට දැනුණේ තමාගේ හිස කෙස් කොහේ හෝ පැටළුණු විට දැනෙන වේදනාවකි. හිස අල්ලාගෙන ඇය පිටුපස හැරුණේ තරහෙනි. තමාගේ කෙස් ඔහුගේ බෑගයේ පැටළී තිබුණු.

"ඕහ් අම් සොරි.."

ඔහු ඉතා අහිංසක ලෙස පවසමින් පැටළුණු කෙස් අයින් කරන්නට වෑයම් කළේය. ඔහුගේ මුහුණ ඇය හරිහැටි දැක්කෙ එවිටයි. තම කේන්තිය හිතින් පලා ගොස් ඒ රුව තම හිත පතුලටම කා වැදුණු බව ඇයට දැනුණි. එහෙත් ඇය ඒ පිළිබඳව තව තවත් හිතන්නට නොගියාය.

"ඉට්ස් ඕකේ.."

ඇය හෙමින් පැවසුවේ තම හිසකෙස් ඔහුගේ බෑගයෙන් හෙමින් මුදා ගනිමිනි.

ඒ ඇයට ඔහු හමු වූ මුල්ම දිනය යි. එතැන් පසු පන්ති නිම වී එන බොහෝ වේලාවට ඇයට ඔහු මුණ ගැසුණි. ඒ අවස්ථා වල හිනාවකින් හෝ ඇයට සංග්‍රහ කිරීමට ඔහු අමතක නොකලේය. ටික දිනක් ගතවන විට ඇය බස් නැවතුමේ නැතිනම් ඇය එනතුරු එතැන රැදී සිටීම පුරුද්දක් කරගෙන සිටි බව ඔහු පසු දිනෙක ඇයට පවසා තිබුණි. මෙසේ සංග්‍රහ කළ සිනහව පසුව කතා කිරීමක් බවට පත් විය. එයින් ඔවුන් ඉතා හොඳ මිතුරන් විය. පසුව ඔවුන්ටත් නොදැනීම ඔවුන්ට ඔවුන්ව නැතුව බැරි විය. ඉබේම ඔවුන් පෙම්වතුන් බවට පත් විය.

එතැනින් ආරම්භ වූයේ ඇගේ ජීවිතේ වසන්ත සමයයි. ඇය සිටියේ ඉතා සතුටිනි. එහෙත් ඒ වසන්තය විනාස වී යන සුළි සුළඟක් වේ යැයි ඇය සිහිනෙකින් වත් නොසිතුවාය.

ඇය කෙදිනකවත් ආදරය කර නොතිබිණි. ඇය ආදරයේ මුල් පාඩම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඇය බොහෝ වේලාවට ඔහු සමඟද ඒ පිළිබඳව පැවසුවා ය.

ඔහු ඉතාමත් ආදරණීය පුද්ගලයෙකු විය. ඒ ආදරය ඇයට තදින්ම දැනුණි. ඒ නිසා ඇයත් පණ මෙන් ඔහුට ආදරය කළාය. ඔහු නැති ලෝකයක් ඇයට තිබුණේ නැති තරම්ය.

ඒත් ඇගේ පිවිතුරු ප්‍රේමයට කුණාටු හමා ආවේ ඇයටවත් නොදැනීය. සිදුවූයේ කුමක්දැයි ඇයට අදටත් සිතා ගත නොහැකිය. ඉතා ආදරණීය ලෙස සිටි ඔහු වෙනස් විය. ඇයව කරදරයක් විය. ඇගේ පිවිතුරු ආදරය ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරන්නට විය. ඇගෙන් මිදී ඔහුට යන්නට අවශ්‍ය විය. කිසිම කතාවකින් ඵලක් නොමැති වූ තැන ඔහුට යන්නට ඉඩ හැර ඇය නිහඬ වූවාය. ඇය තමන්ගේ හිත දුකේ ගිල්වා ඔහුගේ සතුටට ඉඩ දුන්නාය. ඒ ඇය ඒ තරමටම ඔහුට පෙම් කල නිසාය.

එදායින් පසු අද තෙක් ඇයට ඔහුව මතක් නොවුණු දිනක් නැත. විටෙක ඇය කෑ ගසා හැඩුවාය. මානසිකව ඇද වැටුණාය. නමුත් දැන් තරමකට හෝ හිත දැඩි කරගෙන ජීවත් වන්නට ඇයට ශක්තියක් ඇත. ඇයට අවැසි වන්නේ කොතැනක හෝ ඔහුට සතුටින් දිවි ගෙවන්නට ඉඩ හැරීමට ය.

"දුවේ පහන පත්තු කරන්න ලෑස්ති කරන්න බුදුන් වඳින්න.."

මුළුතැන් ගේ දෙසින් ඇසුණු අම්මාගේ කටහඬට ඇගේ දැහැන බිඳුණි.

"මේ එනවා අම්මා.."

ඇය සිටි තැනින් නැඟී සිටියේ සෑම දිනකම අමාරුවෙන් අමතක කරන්නට වෙර දරණ වේදනාබර අතීතය නැවත නැවත මතක් කර දෙන හිතුවක්කාර හිතට තමන් විසින්ම දොස් පවරා ගනිමිනි..

***************************************************************************************************************

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ..

ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයා යන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න..

(ගීතය උපුටා ගැනීමකි.)


Short story by Pramodi Peramuna 💜️




(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


පියාසරන සිතුවිලි - Flying Thoughts



No comments: