Thursday, 9 May 2019

කෙළවර කළ බැඳීම - Short Story by Pramodi Peramuna

කෙළවර කළ බැඳීම - Sinhala Short Story


"මචං නැගිටපන්. අර බලපන් ඈතින් මෙහෙණින් වහන්සේ කෙනෙක් පිඬුසිඟා වඩිනවා.."

හසිතගේ වදන් ඇසී මා අවදි වුණෙමි. යාන්තමින් ඇස් හැර ගත් මට ඈතින් වඩින මෙහෙනින් වහන්සේ නමක් බොදවී පෙණුනි. අප දෙදෙනා පෙර දින රැය පහන් කළේ වාහනය තුළමය. තාමත් මා බොහෝ විඩාවෙන් හා නිදිබර ගතියෙන් පෙළුනෙමි.

හසිතත් මමත් රැකියාව කළේ අගනුවර ප්‍රසිද්ද පුවත්පත් ආයතනයකයි. ගොවීන්ගේ දුෂ්කර ජීවිත පිළිබඳ ලිපියක් සැකසීම සදහා මේ සුන්දර වූ ගම්මානයට එන්නට අප කොළඹින් පිටත් වූයේ පෙරදා පාන්දරමය..


"ඉක්මනට ගනින් බං ඔය කැමරා එක..මේ ඉර පායගෙන එන වෙලාවෙ වටපිටාවේ තියෙන ලස්සනත් එක්ක මෙහෙනින් වහන්සෙත් අල්ලලා ෆොටෝස් ටිකක් ගත්ත නම් ටිප් ටොප් එකට තියෙයි.."

එයද හසිතගේ හඩයි. ඡායාරූපකරණය සදහා ඔහු තරම් සමතෙකු මා මීට පෙර දැක නැත. ඔහු අප ආයතනයේ සිටින දක්ෂතම ඡායාරූප ශිල්පියා යි.
 
මා වහා කැමරාව ගෙන ඔහු අත තැබුවෙමි. වාහනයෙන් බැස ගත් ඔහු රිසි සේ එම සුන්දරත්වය කැමරාවට හසු කරගන්නට විය. මාද රියෙන් බැස එම සුන්දරත්වය දෑස් වලින් රිසි සේ විදගතිමි..

"දුෂ්කර වුණත් මේ මිනිස්සුන්ගෙ ජීවිත හරි සරලයි නේද මචං..ඒ මිනිස්සු මහන්සියෙන් වගා කරගෙන එදා වේල හොයා ගන්නවා.. ඒකෙන් ටිකක් මෙහෙනි ආරාමෙටත් පූජා කරගෙන පිනුත් කරගන්නවා..ඒක තමයි බං ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ සතුට..අපිට නම් නැත්තෙම ඒකනෙ බං.."

මා කියාගෙන ගියේ කෙමෙන් කෙමෙන් අප වෙත ලං වෙන මෙහෙනින් වහන්සේ දෙස බලාගෙනමය. බිම බලාගෙන ශාන්ත ගමනින් වඩින මෙහෙනිය පිළිබඳ මට දැණුනේ හුරුපුරුදු ගතියකි.

"මචං යමං ගිහින් මෙහෙනින් වහන්සේට වැඳලා එමු.."

අප ආසන්නයට වැඩි භික්ෂුනිය දෙස බලමින් හසිත පැවසුවේය. එහෙත් මගේ දෙපා සොලවන්නටවත් නොහැකි සෙයක් දැනුණි. මා මෙය විශ්වාස කරන්නේ කෙසෙද?? මට දැනුණා නිවැරදිය.. මේ ඇයම නොවේද.. කලක් මා අසළම ආදරයෙන් දැවටුණු මාගේ ප්‍රිය බිරිඳ නොවේද??

"අනේ මට සමාවෙන්න මගෙ මැණික.. මං ඔයාට හුගාක් වැරදි කරා.. හුගාක් රිදෙව්වා වද දුන්නා.. ඒ උනාට ඔයා මට හැමදාම ආදරේ කරා.. ඒත් මං ඒක තේරුම් ගත්තෙ නෑ.. මං හැමදාම ඔයාට දුන්නේ දුක් විතරයි.. ඒත් ඔයා ඒ හැමදේම ඉවසුවා.. මට ඒ හැමදේම තේරුම් ගියේ ඔයාව මට නැති වුණාට පස්සෙ රත්තරන්.. ඊට පස්සේ මං පිස්සෙක් වගේ ඔයාව හෙව්වා.. ඒත් මට හොයා ගන්න බැරි උනා.. ඔයා ඩිවෝර්ස් එකෙන් පස්සෙ රට ගියා කියලයි හැමෝම දන්නෙ.. ඒත් ඔයා.. අනේ මට සමාවෙන්න රත්තරන්.. මේ තැනට ඔයාව ඇදලා දැම්මෙ මං.. මට සමාවෙන්න.."

දෑසින් කදුළු කැට කඩාහැලෙද්දී මා කෑ ගැසුවේ ඇය දැන් භික්ෂුනියක් බවද අමතක කරමිනි.

එහෙත් ඇයගේ ශාන්ත බවෙහි නම් පොඩි හෝ වෙනසක් වත් සිදුවූ වගක් පෙනෙන්නට නැත. සෙමෙන් ඇය හැරුණේ හසිත වෙතය.

"මහත්තයා මං පැවිදි වුණු භික්ෂුනියක්. ගිහි ජීවිතේ මොන බැදීම් තුබුණත් පැවිදි වුණාට පස්සේ අපිට බැඳීම් නැහැ. ඒක අර මහත්තයට තේරුම් කරලා දෙන්න. මහත්තුරු දෙන්නට තෙරුවන් සරණයි.."

සන්සුන් හඩින් පැවසූ ඇය සුපුරුදු ශාන්ත ගමනින්ම අප පසු කර වඩින්නට වූවාය. දෑසින් වැටෙන් කදුළු වලට ඉඩදී අපට පිටුපා වඩින භික්ෂුනිය දෙස මා බලා සිටියේ හිතේ තෙරපුණු දහසකුත් හැඟීම් වචන වලට පෙරළා ගැනීමට නොහැකි වූ නිසයි..

*******************************************************************************************************************************************

"කසාවතින් ඔබ යන විට මග සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක..
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න.."


Short story by Pramodi Peramuna 💜️




තවත් කතා කියවීමට මෙතන click කරන්න

පියාසරන සිතුවිලි - Flying Thoughts



No comments: