උසස් බාලිකා විදු මව්නි..,
නුඹෙන් වෙන් වී ගෙවුණු මේ වසර කිහිපය තුළ නුඹව මතක් නොවුණු දිනයක් මගේ මතකයෙහි නැති තරම් ය. නුඹ අපේ ජීවිතයට ඒ තරමට ම බද්ද වී ඇත. එය තවකෙකුට තේරුම් කර දීමට අපහසු වූ අපූර්වතම බැඳීමකි. යළිත් යළිත් සිහි කර කර සතුටු විය හැකි ඔබ තුරුලෙහි ගෙවුණු ඒ සුන්දර අතීතය සිහිනයක් සේ මට දැනේ.
නුඹේ එක් දියණියක වී නුඹේ තුරුලෙහි හැදී වැඩෙන්නට මා වාසනාවන්ත වූයෙමි. එය එක්තරා භාග්‍යයකි. කුඩා කල සිට දුටු සිහිනයක සැබෑවකි. ඒත් නුඹේ සෑම දියණිකයටම මෙන්ම නිසි දිනය ආ කල නුඹෙන් වෙන්ව යෑමේ යථාර්ථයට මා හට ද මුහුණ දෙන්නට සිදුවුණි. නුඹ දමා ආ දුක අදටත් හදවතේ කොණක සැඟව හිඳ විටින් විට හදවත කොනිත්තමින් මා රිඳවමින් සිටියි. නමුත් මා ඒ රිඳුමට පෙම් කරමි.
නුඹ අපට දෙවැනි මව වූවාය. අපව රැක බලා ගත්තාය. ගුණ දම් කියා දුන්නාය. සිප් සතරට අමතරව නුඹෙන් අප ලද දෑ බොහෝමය. උසස් දියණියක ලෙස සමාජයේ දිවි ගෙවීමට ඇවැසි පන්නරය අප ඔබෙන් ලැබුවෙමු. එයට අප බෙහෙවින්ම ඔබට ණයගැතිය.
එදා මෙන්ම පාසල් බෑගය සුදු ගව්මේ කර දෙපැත්තෙන් එල්ලා ගෙන ආයෙත් වතාවක් නුඹේ තුරුලට දිව එන්නට ඇත්නම් යැයි මට සිතෙන වාර අනන්තය. එනමුත් එදා මා ගත දැවටුණු සුදු ගව්ම වත් දැක ගත නොහැකි තරමට මා අද සිටින්නේ දුර ඈතකය.
සුදු ගව්ම එක්ක පැටළුණු ටයි පටිය තාමත් කඳුළු සලනවා ඇත. අල්මාරිය තුළින් එළියට ඇවිදින් ආයෙමත් ඉස්සර වගේ නුඹේ සුසුම් පොද වැදෙන තැනක දැවටෙන්නට ඔවුන් පෙරුම් පුරනවා ඇත. ඒත් ඒ පැතුම ඉටු කරන්නට නොහැකි තරමට මා අසරණ බව ඔවුන් නොදන්නවා ඇත.
*********************************************************************************************************************************************************************
මතකය තෙල්ලෙන් මහළු වියේදි
පාසල් අවදිය සිතෙහි ඇදේ
කදුළු මැකී ගිය සිනහ පොපියවන
සොඳුරු ළමාවිය සිතුවම් වේ..
කාලය ගතවී ලෝ දම් පෙරළී
අද එක් වූ අය මතු වෙන් වී
කාලයෙ අඳුරින් වැසී තිබෙන
යට ගියාව දෙස නෙත් හරවද්දී
ගීයක ස්වර මෙන් රැව් පිළි රැව් දෙන
ළමාවියේ රසබර සේයා
වෙහෙසුණු සිත සතපමින් ඇඳී එයි
සිහින ලොවක රස මිහිර මවා..
- Pramodi Peramuna - 💜️
My Thoughts සඳහා පිවිසෙන්න මෙතන click කරන්න.
No comments:
Post a Comment