මේ නගරය අලුත් වෙලා - Sinhala Short story
වාහනේ ඉස්සරහට ගියෙ ඉබි ගමනින්.
"දැන් නුවර වාහන හරියට. ඉස්සර නම් මෙහෙම නෑ.."
මං කිව්වෙ මගේ වයිෆ්ට. ගොඩක් වෙලා වැව රවුමෙ වාහන පෝළිමේ හිරවෙලා ඉඳලා එයාටත් එපා වෙලා කියලා මට තේරුණා. එයා මේ නුවර ඇස් දෙකෙන් දකින පළවෙනි වතාව. එංගලන්නෙතෙම ඉපදිලා එහෙම හැදලා වැඩුණු එයා ලංකාවට ඇවිත් තිබුණෙත් දෙපාරක් විතර.
ඇත්තටම අපි මෙහෙ ආවෙ මගේ පරණ ඉස්කෝලෙ යාලුවෙක් ෆේස්බුක් එක හරහා කරපු ආරාධනාවක ප්රතිඵලයක් විදිහට. නැත්තම් අපි තාමත් නුවර එන්න පෙරුම් පුරනවා.
හිරු නොබසින අධිරාජ්යයෙ ඉඳලා නුවර ඉර බලන්න ආව අපි නුවරට අඩිය තිබ්බෙ ඊයෙ පාන්දර. මහන්සි අරින්නවත් ඉඩක් නොගෙන අපි උදෙන්ම යාලුවගෙ ගෙදරින් එළියට බැස්සෙ, නුවරට පය තිබ්බ වෙලාවෙ ඉඳලම ආයෙත් ඉස්සර වගේ මුළු නුවර වටේම රවුමක් යන්න හිත ආසාවෙන් නලියන්න පටන් ගත්ත හින්ඳා.
"මචං ඔය ඉස්සරහින් පොඩ්ඩක් අයිනට කරලා නවත්තපං. මට පොඩ්ඩක් වැව රවුමෙ ඇවිදින්න ආසයි.."
මං කිව්වෙ මගෙ යාලුවට.
"දැන් ඉස්සර වගේ හිතෙන හිතෙන තැන වාහන නවත්තන්න බෑ. පේනවනෙ බ්ලොක් එක. ඉස්සරහින් පොඩ්ඩක් නවත්තන්නම්. උඹලා බැහැපල්ලා. මං වාහනේ ඉස්සරහ KCC කා පාර්ක් එකෙන් දාලා එන්නම්.."
මිනිහා එහෙම කියද්දි තමයි මං පියවි ලෝකෙට ආවෙ. ඇත්තෙනෙ ඉස්සරට වඩා දැන් කොච්චර වෙනස්ද. මං මේ ආයෙත් නුවරට අඩිය තිබ්බෙ අවුරුදු විස්සකටත් පස්සෙද කොහෙද. මට හිනාවක් ගියෙ එහෙම හිතද්දි. යාලුවත් හිනා වෙවීම වාහනෙ ස්ලෝ කරා. අපි දෙන්නත් ඉක්මනින්ම වාහනෙන් බැහැ ගත්තා.
වැව රවුමට අඩිය තියනකොටම මට මතක් වුණේ ඉස්සර. පොත් බෑග් එක කරේ දාගෙන මේ වැව රවුම දිගේ ධර්මරාජෙට දුවපු හැටි මට මැවිලා පෙණුනා. ඉස්සර මේ නුවර අහස යට අපි කරක් නොගහපු තැනක් නැති තරම්. නුවර එක කෙළවරකින් පටන් ගන්න රස්තියාදුව ඉවර කරන්නෙ අනිත් කෙළවරෙන්. දැන් ඒ යාළුවො කොහෙ ඇත්ද. ගොඩාක් යාළුවො දැන් නුවරින් පිට. සමහරු මං වගේම රටිනුත් පිට.
ඒ දවස් වල මං හිතුවෙ කවදා හරි මැරෙන්නෙත් නුවරමයි කියලා. ඒත් ඒ හැමදේම වෙනස් වුණේ අප්පච්චි අපේ මෙහෙ තිබුණු හැමදේම විකුණලා දාලා එංගලන්තෙ පදිංචියට යන්න තීරණේ කරපු නිසා. ඒ දවස අද වගේ මට මතකයි. එදා හිතට දැනුණු ඒ වේදනාව මට මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ.
ආයෙමත් මේ විදිහට මේ වැව රවුමෙ ඇවිදින්න ලැබෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ. දැන් ඉතිං ආයෙමත් මෙහෙ එන්න බැරි තරමටම අපි ඒ ගිය තැන් එක්ක බැඳිලා. දැන් අපේ දරුවො රට රටවල ඉගෙන ගන්නවා. ආයෙමත් මැරෙන්න හරි නුවර අහස යටට එනවා කියන එක නම් ඉතිං කවදාවත් හැබෑ නොවෙන හීනයක් විතරයි.
කාලෙත් එක්ක අපි දැන් හුඟක් වයසට ගිහිල්ලා. නුවරත් දැන් ඒ තරමටම වෙනස් වෙලා. ඉස්සර අපි ඔහේ ඇවිදපු පුංචි පාරවල් අද හුඟාක් ලොකු වෙලා. හොරෙන් හොරෙන් කට්ටි පැනපු තැන්, හොර රහසෙ ආදරේ කරපු තැන් වල අහස උසට බිල්ඩින් හැදිලා. එදා මං ආදරේ කරපු ඒ පුංචි කෙල්ලත් දැන් මං වගේම වයසයට ගිහින් ඇති. ඉස්සර මගේ අතේ පැටලිච්ච ඒ ඇඟිලි වල දැන් මඟුල් මුද්දක් හරි ආඩම්බරෙන් දැවටිලා ඇති. එහෙම හිතනකොට මට දැනුණෙ මුළු හදවතම පසාරු කරගෙන යන තියුණු වේදනාවක්.
දැන් නම් ඉස්සර තරම් වැව රවුමෙ කපල්ස් නෑ. මං කල්පනා කරේ වට පිට බල බල. දැන් නම් ඉතිං කොහෙ ඉන්නද. දැන් කාලෙ තරුණ ළමයින්ගෙ පිවිතුරු ආදරේ කෙළවර වෙන්නෙ හෝටල් කාමර වලින් වෙච්චි කොට.
"මොකද්දෝ අමුතු ගඳක් එනවා.."
මනෝ ලෝකෙක පාවෙවී හිටය මට අප්රසන්න ගඳක් දැනෙන්න ගත්තෙ වයිෆ් එහෙම කිව්වට පස්සෙ. ඒක එන්නෙ වැව පැත්තෙන් කියලා මට තේරුණා. වැව පැත්තට එබිකම් කරලා බලද්දි වැවේ රැළි එක්ක පාවෙන පොලිතින්, ප්ලාස්ටික් බෝතල් දැකලා මට හීල්ලුණේ මේ ඉස්සර කොච්චර ආඩම්බරේට තිබුණ වැවක්ද කියලා හිතෙද්දි.
"මිනිස්සු හැම ජරාවම විසික් කරන්නෙ වැවට මහත්තයා. ඒවා විස වෙලා මාළු මැරෙනවා. ඒ මාළු කුණුවෙච්ච ගඳ තමයි ඔය එන්නෙ.."
එහෙම කිව්වෙ අපේ කතාව අහගෙන හිටපු වැව රවුමෙ අයිස් ක්රීම් විකුණන වෙළෙන්දෙක්.
මං ඔහුට යන්තමින් හිනා වුණා. ඇත්තටම මගේ හිතට දැනුණෙ වේදනාවක්. එක පැත්තකින් වැව විනාස වෙලා අනිත් පැත්තෙන් ඉස්සර මේ මුළු නුවරටම හෙවණ දුන්නු මහා රූස්ස ගස් ටික සේරම කොට කඳන් වෙලා කොළඹට පැටවෙනවා. අයෙ කවදාවත් ඉස්සර වගේ නුවරට වසන්තය නම් එන එකක් නෑ.
නුවර බලන්න ඕනෙ කියලා කලින් හිතට දැනුණු ඒ ආසාව ඒ උනන්දුව දැන් නම් හිතින් පැනලා ගිහිල්ලා වගේ කියලා මට තේරුණා. මට ඕනෙ වුණේ ආපහු ගෙදර යන්න. අපිට මේ ගමන නොඑන්නයි තිබුණෙ. මට මොහොතකට එහෙම හිතුණා.
මේ නගරය අළුත් වෙලා
වැව් දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා..
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පින්වතුන්
අකුරු පොත්පත් පිරුණු අත්වල
එල්ලිලා අද පොඩි පුතුන්..
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිරවෙලා
පාළු කුටිවල අදුරු..
(ගීතය උපුටා ගැනීමකි.)
Short Story by Pramodi Peramuna 💜️
(ජායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න.
My Thoughts සඳහා මෙතන click කරන්න.
3 comments:
Nice story promo. Keep it up. 😊😊😊 waiting for a another story 😊
Thank You ❤️
Nice story.. Keep it up..♥️♥️
Post a Comment