අක්කපාන දිව ඔසුව
අක්කපාන යනු,
අක්කපාන නම කිවූ සැණින් බොහෝ දෙනෙකුගේ හිත තම කුඩා කාලයට දිව යනවා නොඅනුමානය. අක්කපාන ශාකයේ පත්‍ර ගෙනවිත් පොත් පිටු අතර සඟවා මුල් අඳින තුරු බලා සිටි කාලයක් අද වැඩිහිටියන් බවට පත් වී ඇති බොහෝ දෙනෙකුට තිබුණු බව නොරහසකි. එලෙස බොහෝ දෙනෙක් දන්නා නමුත් සොයා බැලීමට උනන්දු නොවන ශාකයක් ලෙස අක්කපාන දැක්විය හැකිය. නමුත් මෙම ශාකය ඔබ කිසිදිනක නොසිතු තරම් වටිනා ශාකයකි. ආයූර්වේදයේදී ඖෂධයක් ලෙසත් විටෙක රසවත් ආහාරයක් ලෙසත් අක්කපාන ශාකය අපට බෙහෙවින් උපකාරී වේ. විශේෂයෙන්ම මෙය මෘදුකිරීමේ, විශහරණය කිරීමේ, දාහය දුරු කිරීමේ, රුධිර වහනය වැළකීමේ, වේදනා නැසීමේ වැනි ගුණයන් රාශියකින් සමන්විතය. ඉතින් එහි ඇති ගුණාත්මක භාවයන් මොනවාදැයි යන්න මෙම ලිපිය මඟින් තවත් විග්‍රහ කර බලමු.
තැනක් නොතැනක් නැතිව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක වගා කළ හැකි අක්කපාන ශාකය ගල්තලා මත වැඩි වශයෙන් දක්නට ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පහත රට සහ වියළි කලාපයේ මේවා වැඩි වශයෙන් දැකගත හැක. නිවර්තන අප්‍රිකාව මෙහි නිජබිම වශයෙන් විශ්වාස කරන අතර නිවර්තන කලාප වල ස්වභාවිකව වර්ධනය වන බව පැවසේ. තවද මෙම පැලෑටිය ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල පමණක් නොව ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, හවායි වැනි ලෝකයේ රටවල් ගණනාවක දැක ගත හැකි පැලෑටියක් බව කියවේ. එමෙන්ම මෙහි ඇති ගුණයන් නිසාම නොයෙක් රටවල Miracle leaf, Wonder of the world යනාදී විවිධ නම් පටබැඳුනු ශාකයකි.
'Kalanchoe pinnata' නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අක්කපාන ශාකය මාංසලමය පැලෑටියකි. මෙහි පක්ෂා කාර පත්‍ර සහ ඩිම්බාකාර පත්‍ර ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇත. උසින් මීටරයක් පමණ වැඩෙන පැලෑටියක් වන මෙය ලපටි කාලයේදී රතු ලප සහිතව සුදු පැහැ ගන්නා අතර වැඩි වර්ධනයේදී ලා පැහැයක් ගනී. මෙහි පත්‍රයක දිග දළ වශයෙන් සෙන්ටි මීටර 7.5 සිට සෙන්ටි මීටර 10 දක්වා වන අතර පළල දළ වශයෙන් සෙන්ටි මීටර 20ක් පමණ වනු ඇත. කහ පැහැති මල් හට ගනී.
Calcium Sulphate, Calcium Oxalate, Tartrate of Potassium ආදී රසායන සංයෝගවලින් සපිරුණු අක්කපාන වාත පිත සමනය කරන්නකි. තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්ත මෙය මෙරට වෙදකමේ විවිධ රෝගාබාධ සඳහා යොදා ගනු ලබයි.
අක්කපාන ඖෂධයක් ලෙස
අක්කපාන වඩාත් ප්‍රචලිතව ඇත්තේ මූත්‍රා රෝග සුවකරලීමට ඇති දිව්‍යමය බලය නිසාය. ආයුර්වේදයේදී මූත්‍රා ගල් ඛණ්ඩනය සඳහා යොදා ගනු ලබන මෙය මුත්‍රා ගල් ඉවත් කිරීම ඇතුළු මූත්‍ර රෝග 12 කට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බව පැවසේ. අක්කපාන පැලෑටිය සහමුලින්ම ගෙන එය කසාය කර බීමෙන් මූත්‍රා ගල් ඛණ්ඩනය කර ගත හැකි අතර ඉතා සියුම් ගල් හා වැලි ඉවත් වී මූත්‍රා හොඳින් පිරිසිදු වීම සහ හොඳින් මූත්‍රා පිටවීම සිදු වේ. තවද මීට අමතරව හදවත් රෝග, ප්‍රමේහ රෝග, පාචන රෝග, අතීසාර, රක්තාතීසාර, රක්ත ප්‍රදර, පෙනහළු තුවාල, ඉදිමුම්, සන්ධි රෝග, අස්ථි බිඳීම්, අක්ෂි රෝග, චර්ම රෝග, ශුක්‍ර දෝෂ, අම්ල පිත්ත රෝග වලට ඖෂධයක් ලෙස මෙය යොදා ගනියි.
අක්කපාන ශාකය වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන අතර දේශීය වෛද්‍යවරුන් ගෙඩි කපා හැරීමේදී නිර්වින්දන ඖෂධයක් ලෙස ගැටතුඹ හා මිශ්‍ර කර යොදා ගන්නා බවට සඳහන් ය. තවද චීනයෙ හා කැරබියන් දූපත්වලද මෙය වේදනා නාශකයක් ලෙස යොදාගනු ලබයි.
සියුම් ධමනි ශාඛා හකුළුවන ශක්තියක් මෙහි ඇති බැවින් ලේ ගැලීම් නතර කර ලීමට එයට හැකියාව ඇත. එමනිසා ලේ අතීසාර, රක්ත ප්‍රදර, රක්ත අර්ශස් රෝගවලට ප්‍රතිකාර ලෙස මෙහි පත්‍රවල යුෂ ලබා දේ.
වාජීකරණ ගුණ ඇති අක්කපාන ශුක්‍ර දෝෂ දුරු කර දරු පල අහිමි වූවන්ට දරු පල ලබාගැනීමට උදව් වන ඖෂධයකි. එමෙන්ම කිරි දෙන මව් වරුන්ට කිරි එරී වේදනා ඇති වූ විට අක්කපාන පත්‍ර එඩරු තෙල් හා අඹරා රත්කර ආලේප කිරීම සිදු කරයි. සමෙහි ඇතිවෙන තැලීම්, තුවාල වීම්, වණවීම්, ඉදිමුම් වලදීත් කැසීම වැනි චර්ම ආබාධ වලදී අඹරාගත් පත්‍ර හෝ ඒවා මිරිකා ලබා ගන්නා යුෂ ආලේප කිරීමෙන් සුවපත් වේ.ඊට අමතරව සම නිරෝගීව පැහැපත් වේ.
සෙම් ගෙඩි හෝ වෙනත් උගුරේ ආසාදන වලදී අක්කපාන පත්‍රය මැදින් කඩා විවර වූ කොටස ඇතුල් පැත්තට වන සේ දිවෙහි තබා උඩු තල්ලට තද කොට යුෂ උරා බීමෙන් ඉක්මනින් වේදනව දුරු කර ගත හැක. කොළරාව, ක්ෂය රෝගය වැළඳුණු රෝගීන්ට අක්කපාන පත්‍රවල යුෂ ලබා දෙන අතර ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලටද එය ගුණදායකය.
ඉරුවාරදය සුව කිරීමටත් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් මෙය උපකාරී වේ. අකලට හිසකෙස් යෑම වැළැක්වීමට යොදා ගන්නා පුරාණ රහස් තෙලක් සෑදීමටද මෙය යොදාගනු ලබයි. අක්කපාන පත්‍ර කොටා ඉස්මගෙන එයට අවශ්‍ය පමණට පිරිසිදු තල තෙල් යොදා දියර ගතිය නැතිවන තුරු මඳගින්නේ පැසවා හිස ගැල්වීමට යොදා ගත හැක. තවද අක්කපාන යුෂ පොල් තෙල් සමඟ මිශ්‍ර කර හිසෙහි ආලේප කර සම්බාහනය කිරීම මඟින් හිස් හොරි දුරුකර ගත හැකිය. ඇස් යට කලුවූ විට පත්‍ර අඹරා ආලේප කිරීමෙන් ඇස් වටා සම යළිත් පැහැපත් කර ගැනීමට හැකියාව ලැබෙයි.
බිඳුණු අස්ථි නැවත සැකසීමට අක්කපාන වලට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. බිඳුණු අස්ථි මත අක්කපාන පත්‍ර තබා බැඳීමෙන් ඒවා නැවත සැකසෙන අතර මෙම විශ්මිත බලය නිසා මෙයට 'බින්න යෝජනී' යන නමද පටබඳී ඇත.
අක්කපාන ආහරයක් ලෙස,
බොහෝ දෙනෙක් නොදන්නා නමුත් අක්කපාන ඉතා රසවත් ආහරයක් ලෙස අපගේ ආහාර වේලට එක් කර ගත හැකියි. මෙම පත්‍ර ඕනෑම ආකාරයකට පිස ආහාරයට ගැනීමට හැකියාව ඇති අතර අක්කපාන දළු සම්බෝලය, මැල්ලුම හා අක්කපාන කැඳ මේ අතරින් විශේෂය. නමුත් මේවා නිතර නිතර ආහාරයට ගැනීමට නුසුදුසු අතර මාසයකට වරක් දෙවරක් ආහාරයට ගැනීම සුදුසුය. ගැබිණි මව්වරුන්ට මෙය ආහාරයට නොසුදුසු අතර කෑම දිරවීමේ ශක්තිය ඇති අයට මෙය අජීර්ණය වීමේ අවදානමක් පවතී. එමනිසා මෙය වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්ය.
මේ ආකාරයෙන් අක්කපාන අපට දිව ඔසුවක් බව කිව හැකිය.එම නිසා මෙම වටිනා ශාකය වඳ වීමට නොදී ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමකි. ඔබත් අදම ඔබේ නිවසේ මල් පෝච්චියක හෝ ගෙවත්තේ ඉඩ කඩ ඇති බිම් පෙදෙසක අක්කපාන පැලයක් සිටුවා ගන්න. එවිට එය දිනෙක ඔබට කවර ආකාරයකින් හෝප්‍රයෝජනයට ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁
No comments:
Post a Comment