Sunday, 5 May 2019

💚 කස්තුරි- Kasthuri (Musk)💚

 කස්තුරි දිව ඔසුව- Kasthuri (Musk)





කස්තුරි යනු,


කස්තුරි යන නම කිවූ සැණින් ඔබට මතක් වන්නේ එය දුර්ලභ ඖෂධයක් බවයි. ඒ සමඟම ඔබට කස්තුරි මුවා යන නාමයද මතකයට එනු ඇත. ඔබ නිවැරදිය. කස්තුරි නැමැති දුර්ලභ ඖෂධය මෙලොවට දායාද කරන්නේ කස්තුරි මුවන් විසිනි. දැනට ලොව පවතින මිල අධිකම ඖෂධ අතරින් මෙයද එක් ඖෂධයකි. එයට හේතුව වන්නේ මෙය පහසුවෙන් ලබා ගැනීමට නොහැකි දුර්ලභ ඖෂධයක් වීමයි.

මෙය දැනට ලෝකයේ පවතින වටිනාම වාජීකරණ ඖෂධය ලෙස සැලකේ. Musk යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන මෙය මෘගනාභි, මෘගමද, කස්තුරිකා, වේදමුඛ්‍යා යන නම්වලින් ද හඳුන්වනු ලබයි.

කස්තුරි මුවන් යනු,


Moschus moschiferus යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කස්තුරි මුවන් ලෝකයේ සීමිත රටවල් කීපයක පමණක් ජීවත් වන අහිංසකම සිව්පා සත්ව විශේෂයක් බව කියවේ. රැසියාව, චීනය, භූතානය වැනි රට වලද මධ්‍යම ආසියාවේ වනදුර්ග ගිරිදුර්ගයන් හි ද, ඉන්දියාවේ හිමාල කඳු අතර හා වෙනත් කඳු, වන ලැහැබවල් වලද නේපාල ප්‍රදේශයේ ද මොවුන් වාසය කරයි.



කස්තුරි සෑදෙන්නේ කෙසේද?  


සාමූහිකව රංචු ගැසීමට පුරුද්දක් නොමැති මොවුන් තනි තනිව ජීවත් වන සත්ව කොට්ඨාසයකි. මොවුන් තරුණ වයසට පත්වී සංසර්ගයට පෙළඹෙන කාලයේදී කස්තුරි බොහෝ සේ ගලා එන බව පැවසේ. එවිට එයින් හමා එන සුවඳ ආඝ්‍රාණය වීමෙන් මුව දෙනුන් මුවන් පසුපස හඹා විත් සංසර්ගයට පෙළඹේ. මෙලෙස බොහෝ වාර ගණනක් සංසර්ගයේ යෙදීම නිසා කස්තුරි නම් වූ ශූර ශුක්‍රාණු වැඩි වශයෙන් ගලාවිත් එම පිරිමි මුවන්ගේ නාභිය වටා බදාමයක් සේ බැදේ. සති කිහිපයකට පසු එසේ බැඳුණු ඝණ ශුක්‍රාණු තරලය වියළීම සිදුවේ. එලෙස වියළුණු ඝණ බදාමය වන් කස්තුරි තරලය එම මුවන් හට අමුතු බරක් සේ දැනේ. එය නාභිය වටා කැසීමකට තුඩ දෙන බැවින් ඔවුන් එය ගල්වල අතුල්ලා කඩා ගැනීමට උත්සහ දරයි. එවිට කැබලි වලට කැඩී යන එම තරලය කස්තුරි නම් දුර්ලභ ඖෂධයයි.




ඉහත සඳහන් කළ අයුරින් මෙය ඉතා මිල අධික වන්නේ එහි ඇති දුර්ලභ බව නිසාමය. වර්තමානයේ මුදල් ලබා ගැනීමේ අරමුණින් කස්තුරි මුවන් මරා කස්තුරි ලබා ගැනීමට උත්සාහ දැරීම නිසා ඔවුන්ගේ පැවැත්මට විශාල තර්ජයක් එල්ල වී තිබේ. එයින් සිදු වන්නේ මේ මුව විශේෂය වඳ වී ගොස් කස්තුරි නම් ඖෂධය නැත්තටම නැතිවී යාමයි. මීට අමතරව මෙහි ඇති දුර්ලභ භාවය නිසාම එයට පිළියමක් වශයෙන්  නොයෙක් රටවල් කෘත්‍රිම කස්තුරි නිපදවීමට අත් හදා බැලීම් සිදු කරයි. නමුත් තවමත් ඒ පරීක්ෂණ කිසිවක් හරිහැටි සාර්ථක වී නොමැත.

පුරාණ කියමන් වලට අනුව ශ්‍රී ලංකාවේ කස්තුරි වලට සම කළ හැකි ධාතුවක් උරුලෑවාගේ පවනින බව සඳහන් වේ. නමුත් අදවන විට උරුලෑවන් ද ඉතා දුර්ලභ සත්ව විශේෂයකි.

කස්තුරි ඔසුව භාවිතා කරන අවස්ථා


අර්ශස් හා ඇඳුම රෝගයේදී පෙනහළු ශක්තිමත් කිරීමත්, වයසට යාම වළක්වා තරුණ භාවය රැකදීමත්, ආයුෂ වර්ධනය කිරීමත් මෙම ඖෂධය මඟින් සිදු කරයි.ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ විශේෂ හැකියාවක් මෙම ඖෂධය තුළ පවතී. තවද සුවඳ විලවුන්, බලගතු වාජීකරණ රසායනික ද්‍රව්‍ය හා තෛලයන් නිපදවීමට මෙය යොදා ගැනේ.

මෙහි අඩංගුව පවතින ශක්ති බලය නිසා මරණාසන්නව සිටින රෝගියෙකු වුවත් සුව කිරීමට හැකියාව පවතින බවට සඳහන් වේ. කිසිදා සුව කළ නොහැකි රෝග එනම් ඒඩ්ස් වැනි රෝග වලට පවා මෙයින් ගුණයක් ගෙන දෙන බව කියැවේ. ක්ෂය රෝගය, ශරීරයේ ඇතිවන දද කුෂ්ඨ වැනි දෑ ද, ඇස් පෙනීමේ දුර්වලතාද දුරු කිරීමට මෙයට හැකියාව ඇති බව පැවසේ. තවද මෙය සෙම, පීනස, නාසයේ දුගඳ, මලබද්ධය, වාත පිත, වමනය, කැස්ස, සුවසන අපහසුතා වැනි රෝග වල විෂබීජ නසන ගුණයන්ගෙන් සමන්විත වන බව කියැවේ.

ස්වාභාවික කස්තුරි හඳුනාගන්නේ කෙසේද?


මෙය යම් මිහිරි සුවඳකින් යුක්ත අතර තිත්ත රසයක් ගනී. පෙනුමෙන් සුදු හා කළු මිශ්‍ර පැහැයක් ගන්නා අතර මෘදු ගතියක් පෙන්වයි. මෙහි ඇති මිල අධික භාවය නිසාම වෙළඳපෙළේ බොහෝ සෙයින් ඇත්තේ ව්‍යාජ කස්තුරි ය.ඒවා ද මේ ඉහත කී සෑම ලක්ෂණයකින්ම හෙබි නිසා ස්වාභාවික කස්තුරි වලින් වෙන් කර හඳුනා ගැනීම අපහසුය. එම නිසා මෙය හඳුනා ගැනීම සඳහා විශේෂ උපක්‍රම කිහිපයක් සිදු කළ හැක. කස්තුරි ස්වල්පයක් ගෙන පිරිසිදු ජලය සහිත බඳුනකට දැමූ විට එය දිය නොවී ජලයේ ස්වභාවය එලෙසම පවතී නම් එය ස්වාභාවික කස්තුරි ය. එසේත් නොමැති නම් කස්තුරි ස්වල්පයක් පොළොවේ වළලා තබා නැවත ගොඩ ගෙන බැලූ විට නිවැරදි කස්තුරි නම් පෙර ස්වභාවය එලෙසම පවතිනු ඇත. අනෙක් ක්‍රමය වන්නේ පිළිස්සූ විට නොපිළිස්සී තිබේනම් හා දියවී බුබුළු නැගේ නම් එය ස්වාභාවික කස්තුරි වේ.



තවද මෙම ඖෂධය නිවසේ හෝ තමන් ලඟ හෝ තබා ගෙන සිටී නම් ධන සම්පත් පහළ වී සියලු සැප සම්පත් ලැබෙන බවද කියැවේ. 

ඉතින් මේ තරම් වටිනා දිව්‍ය ඖෂධයක් ලබාදෙන කස්තුරි මුවන්ව රැකගැනීම මිනිසුන් වන අපගේ යුතුකමක් බව අවධාරණයෙන් කිව යුතුව ඇත.

පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: