හතර හිනාව
හතර හිනාව යනු කුමක්ද?
හතර හිනාව යන නම කිවූ විට ඔබට එය යම් විකට ස්වරූපයක් ගන්නා බව සිතෙනු ඇත. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා අර්ථයක්, එනම් ලෝක ධර්මය පිළිබඳව තේරුම් කර දෙන ඉතා වටිනා යමක් ඒ තුළ ගැබ්ව ඇති බව ඔබ නොසිතන්නට ඇත.
එනම් දුර අතීතයේ සිට කටින් කට පැවත එන්නා වූ හතර හිනාව පිළිබඳ කතාව ආගම ධර්මය සමඟ සම්බන්ධ වූවකි. එම නිසා මෙය ලෝක ධර්මය පිළිබඳව වූ විග්‍රහයක් හැටියටද ඉදිරිපත් කළ හැකිය.
මේවා එදිනෙදා සමාජයේ බහුලව දැක ගත හැකි වන, ගැඹුරුන් ඒ පිළිබඳව සිතා බලන අයෙකුට සිනා උපද වන පොදු කාරණා වන අතර එමනිසා ඒවා හිනා හතරක් ලෙසින් විග්‍රහ කර ඇත.
ඉතින් ඒ ආකාරයෙන් අද වන විට ඉතා සුළු පිරිසක් පමණක් දැන සිටින, බොහෝ දෙනෙක් අසා දැන නොසිටි හතර හිනා මොනවාදැයි මෙයින් විග්‍රහ කර බලමු.
පළමුවන හිනාව
යම් පුද්ගලයන් දනට පිනට කිසිවක් නොදෙමින් ඉතා මසුරු කමින් මුදල් වස්තුව තව තව හම්බ කර පොඳි බැඳ ගන්නා අවස්ථා ඔබ වර්තමාන සමාජයේද බොහෝ සෙයින් දැක ඇත. බොහෝ දෙනෙක් දන්නා මට්ටකුණ්ඩලී කතාවේ අදින්නපුබ්බක වැනි මසුරු චරිත රාශියක් පිළිබඳ අපගේ ඉතිහාස කතා වලදී ද අප අනන්තවත් අසා ඇත. ඉතින් එවැනි මසුරු චරිත දෙස බලමින් මාරයා කොක්හඬලමින් සිනාසෙන්නේ, අනේ උඹලා හරි හම්බ කරගෙන පොඳි බැඳ ගන්නේ මං උඹලට මැරෙන්නට නොදෙන තාක් යැයි සිතමිනි. ඉතිං පළමු හිනාව මාරයාගේ යි.
දෙවන හිනාව
ඈත අතීතයෙදී මෙන්ම වර්තමාන සමාජයේදී ද ඉඩ කඩම් බෙදා ගත නොහැකිව නඩු හබ වල පැටලී ගහ මරා ගන්නා මිනිසුන් පිළිබඳව ඔබ ඕනෑතරම් අසා දැක තිබෙන්නට ඇත. ඉතින් මෙවැනි මිනිස්සු දෙස බලමින් මහී කාන්තාව ඉතා සෝපාසයෙන් සිනාසෙන්නේ, අනේ මුං මගේ දේට නඩු කියාගෙන ගහ මරා ගන්නේ යැයි සිතමිනි. එමනිසා දෙවන සිනාව, තම හිමිකම් ගැන කියමින් රණ්ඩු වන මිනිසුන් දෙස බලමින් සිනාසෙන මහී කාන්තාවගේ ය.
තුන්වන සිනාව
ඈත අතීතයෙ පටන්ම අද වන තුරු දියුණු වන මිනිසුන් දෙස බලා ඔවුන්ගේ සැපතට හූල්ලමින් ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් දැවෙන මිනිසුන්ගෙන් සමාජයේ අඩුවක් නැත. අන් අයට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා තමා විසින්ම දැවී විනාශ වී යයි යනුවෙන් ධර්මයේ ඉගැන්වෙන ධර්ම කරුණකි. මෙයද සිනාවට කරුණකි. ඉතින් එවැනි මිනිසුන් දෙස බලමින්, ශ්‍රියා කාන්තාව සිනාසෙන්නේ, ඇයි කම්මැලියනේ උඹලටත් දියුණු වෙන්න ආසවක් නැති දැයි සිතමිනි. එමනිසා තෙවන සිනාව, අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන මිනිසුන්ට සිනාසෙන ශ්‍රියා කාන්තාවගේය.
හතරවන සිනහව
පළමුවන සිනහව මාරයාගේත්, දෙවන සිනහව මහීකාන්තාවගෙත්, තෙවන සිනහව ශ්‍රියා කාන්තාවගෙත් වන විට අවසාන සිනහව අනාචාරී ස්ත්‍රියගේ ය. ඒ කුමක්දැයි අපි විමසා බලමු.
හොර සැමියෙකුගෙන් තමාට ලැබුණු දරුවාව තම නීත්‍යානුකූල සැමියා විසින් මගේ පැටියා, මගේ රන් කැටියා යනුවෙන් සුරතල් නම් කියමින් හුරතල් කරනා ආකාරය දෙස බලමින් අනාචාරී ස්ත්‍රිය මහ හඬින් සිනාසෙන්නේ, අනේ මෝඩ මිනිහෝ ඔය උඹේ දරුවා ද?ඔය මගේ හොර මිනිහගේ දරුවා නොවේදැයි සිතමිනි. ඉතිං මෙම සිනාව හතරවන සිනහවයි.
මෙලෙස අප බොහෝ දෙනෙක් නොදන්නා නමුත් අපගේ දැනුමට ඉතා වැදගත් වන ඈත අතීතයෙ පටන් ම පැවත එන අප මුතුන් මිත්තන් හා බැඳුණු ඉතා වටිනා ජන කරුණු බොහෝමයක් පවතී. එම නිසා මෙම ලිපිය මඟින් ඔබ නොදැන සිටි යමක් දැනගත්තා නම්, මෙය තවත් නොදන්නා අයෙකුට දැන ගැනීම පිණිස බෙදා හරින්න.
No comments:
Post a Comment