Wednesday, 15 May 2019

ලේ කිරි නොවූ සෙනෙහස - Short Story by Pramodi Peramuna

ලේ කිරි නොවූ සෙනෙහස - Sinhala Short Story


ගම්මානයට පහන් වන උදෑසන සුන්දරය. කුරුළු නදින් මා පිබිදුණෙමි. ගමේ ගෙවෙන සෑම තප්පරයක්ම ගතට නැවුම් සුවයක් ගෙන එයි. කොළඹ ඝෝෂාකාරී පරිසරයෙන් මිදී ටික දිනකට හෝ ගමට එන්නට ලැබීම පිළිබඳ මා සිටියේ සතුටිනි.
ධනුෂ්ක තවමත් සුව නින්දේය. මං ඔහුට බාධා නොවන සේ ඇදෙන් බැස ගෙන මුළුතැන්ගෙය වෙත ගියෙමි.

අම්මා තවමත් පැමිණ නැත. යාබද නිවසක පැවැත්වෙන කිරි අම්මා දානයට උදව් වීමට අම්මා පුතුද කැටුව පිටත් වූයේ පාන්දරමය.

නිවසට පිටුපසින් වැටී ඇති ගුරු පාර දිගේ දානය නිම වී වඩින කිරි අම්මාවරුන් මගේ නෙත ගැටුණි. එසේ නම් පුතුත් අම්මාත් දැන් එනු ඇත.

මා සාලයට පැමිණ පුටුවකට බර වුණෙම්.

මගේ මතකය වසර අටක අතීතයට දිව ගියේ මටත් හොරෙනි. එදා රෝහල් කොරිඩෝව දිගේ ගලා ආ මල්ලිකාගේ හඩ මගේ සවණේ දොංකාර දෙන්නට විය.

"අනේ නෝනා මේ මගේ පණ.. මං මේකව දෙන්නෙ මට මේකට කන්න අදින්න දෙන්න වත්කමක් නැති හින්දා මිසක් ආදරේ නැතුව නෙමෙයි.. මං ගාව හිටියොත් මේකා හාමතේ මැරිලා යයි.. මගෙ පණව හොදට බලාගන්න නෝනා.. අනේ මට සමාවෙයන් මගෙ පුතේ.. මං උඹව දෙන්නෙ උඹට සැපක් දෙන්න මගෙ පුතේ.. මං උඹට ආදරෙයි පුතේ.. මට සමාවෙයන්.."

වසර ගණනාවක් දරුවන් නොමැතිව සිටි මගේ දෑතට මේ හුරතල් මැණික ලැබුණේ එසේය. ඔහුට ජීවය ලබා දුන්නේ මල්ලිකා වුවද එදින සිට ඔහු මගේ ජීවිතය විය.

එකවරම මා තිගැස්සුනේ පුතු හඩමින් මාවෙත දිව එනු දුටු නිසයි.

"අනේ අම්මි මං අම්මිගෙ නෙමෙයිද අම්මි..??"

පුතුගේ පැනයෙන් මා තැති ගතිමි..

"අනේ ඇයි පැටියො මේ..ඔයා මගේනෙ..

ඔයා අම්මිගෙ රත්තරන් පුතානේ.."

"නෑ නෑ අම්මි කියන්නේ බොරු.. මං අම්මිගෙ නෙමෙයි.. මං අම්මිගෙ නම් මං අම්මිට දානෙට යං කියලා උදේ කරදර කරලත් ඇයි අම්මි දානෙට ආවෙ නැත්තෙ..?  අම්මි දානෙට ආවෙ නැත්තෙ මං අම්මිගෙ නෙමෙයි නිසාලු.. බබාල නැති අයට ඒ දාන වලට එන්න බැරිලු.. එතන ඉන්න අය කතා වෙනවා මට ඇහුණා.."

පුතු හඩමින් කියූ දේ අසා හිසේ අකුණු දහසක් එකවර පුපුරා යනු දැනුණි..

"නෑ.. ඕවා සේරම බොරු ඔයා මගේ ඔයා මගේ විතරමයි පුතේ.. මං ඔයාගෙ අම්මා පුතේ.. ඔයා මගේ පුතා රත්තරනේ.." 

මා පුතු බදාගෙන කෑ ගැසුවේ උමතුවෙන් මෙනි..

"අම්මී.. අම්මී.. නැගිටින්න අපි ආවා.. රස කැවිලි ගොඩාක් ගෙනාවා.. අපරාදෙ අම්මිත් එන්නනෙ තිබ්බෙ.. හරි ෂෝක්.. අපි හැමදාම මෙහෙ ඉමුකො අම්මි.. එතකොට මේ දාන තියෙද්දි අපිට යන්න පුළුවන් නෙ.. ඔන්න ආයෙ නම් අම්මිත් එන්න ඕනේ.. අම්මි එනවා නේද..??"

මා පුතු දෙස බැලුවේ මවිතයෙනි. මට පුටුව උඩ නින්ද ගොසිනි. දෙවියෙනේ එසේනම් මා දුටුවේ සිහිනයක්ද. පුතු කිසිවක් දැනගෙන නැත. මා සිතෙන් දෙවියන්ට ස්තූති කළෙමි.

"කියන්නකො මගෙ අම්මි එනවා නේද..?"

මං කිසිවක් නොකියා පුතුව තුරුළු කරගෙන ආදරයෙන් සිප ගතිමි. මේ මගේ ප්‍රාණයයි. කුසින් නොවැදුවත් සදාකල්ම ඔහු මගේම පුතුය..

******************************************************************************************************

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවදයි මුළු ගම්මානේ..
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ..
මා සිත රිදෙන නිසා..

Short story by Pramodi Peramuna 💜




තවත් කතා කියවීමට මෙතන click කරන්න

පියාසරන සිතුවිලි - Flying Thoughts


1 comment:

Anonymous said...

♥️♥️♥️