Sunday, 5 May 2019

💚 රස ගුණ පිරි තිබ්බටු 💚

තිබ්බටු- Thibbatu


තිබ්බටු යනු,

තිබ්බටු නම කියූ පමණින් සැවොම හඳුනන රසවත් ආහාරයක් ලෙස තිබ්බටු හැඳින්විය හැක. එමෙන්ම දේශීය බෝග අතර ඉතා වැදගත් ස්ථානයක් හිමිවන ශාකයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙය කැල්සියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, පොස්පරස්, විටමින් B3 B6 ඇතුළු පෝෂක ගණනවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පිරි ආහාරයකි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, චීනය, මැලේසියාව, තායිලන්තය, පිලිපීනය, අප්‍රිකාව යන රටවලද වැවෙන තිබ්බටු ආහාරයට මෙන්ම ඖෂධ සඳහාත් යොදා ගැනෙන වටිනා ඖෂධීය ශාකයකි.
තිබ්බටු ගසක් අඩි 4 ක් 5 ක් උසට වැඩෙන අතර එහි පංචාංගයම එනම් සියලුම කොටස් ඖෂධ ලෙස භාවිතා කරයි.



තිබ්බටු වර්ග


මෙහි රට තිබ්බටු (Solanum torvum) හා තිත්ත තිබ්බටු (Solanum indicum) වශයෙන් ප්‍රභේද දෙකක් ඇත. මෙම තිත්ත තිබ්බටු වැල් තිබ්බටු නමින් ද හඳුන්වයි. මෙහි රට තිබ්බටු වල පුෂ්ප සුදු පැහැ ගන්නා අතර තිත්ත තිබ්බටු වල පුෂ්ප දම් පැහැයකට හුරුය.මෙහි සුදු මල් සහිත වර්ගයේ එනම් රට තිබ්බටු හි ගෙඩි තරමක් විශාල අතර එය වර්ණයෙන් ලා පැහැයක් ගනී. දම් පැහැ මල් සහිත වර්ගයේ එනම් තිත්ත තිබ්බටු ගෙඩි තරමක් කුඩාය. එමෙන්ම එම ගෙඩි තරමක් තද පැහැයකට හුරුය. එම නිසා එම වර්ග දෙක බැලූ බැල්මෙන්ම හඳුනා ගැනීමට හැකියාව ඇත. මෙහි රසයේද වෙනසක් පවතී. තිත්ත තිබ්බටු එනම් වැල් තිබ්බටු ඉතාමත් තිත්ත රසයක් ගන්නා අතර රට තිබ්බටු තිත්ත රසයෙන් අඩුය.




නියඟයට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක් පවතින නිසා වියළි කලාපයේ වඩාත් පැතිරී පවතී. නමුත් මෙය තෙත් කලාපයේ මෙන්ම වියළි හා අන්තර් දේශගුණික කලාපවලද හොඳින් වර්ධනය වී ඵලදාව ලබා දේ. එහෙත් මෙය වියළි කලාපයට වඩාත් ගැලපෙන බෝගයක් ලෙස හැඳින්විය හැක. අවුරුද්දේ ඕනෑම කාලයක මෙය සිටුවා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි.

තිබ්බටු ආහාරයක් ලෙස,


හොඳින් උයාගත් විට ඉතාමත් රසවත් ආහාරයකි. මෙය ප්‍රෝටීන් බහුල ආහාරයක් බැවින් නිර්මාංශික පුද්ගලයන් සඳහාත් ඉතා ප්‍රයෝජනය. මෙය ආහාර රුචිය වඩන්නකි. වෑංජනයක් ලෙස මෙන්ම පොල් එකතු කර මැල්ලුමක් ආකාරයට ද තෙල් දමා තෙම්පරාදුවක් ආකාරයකටද  මෙය සාදාගෙන ආහාරයට ගත හැක. වෙනත් එළවළු සමඟ මිශ්‍ර කර වෑංජන සැකසීමටද යොදා ගත හැකිය.

මෙය කැඳ හා සුප් සඳහාද එක් කර ගැනීම ගුණවත් ය. විශේෂයෙන් උණ රෝගින්ට තිබ්බටු මිශ්‍ර කැඳ හා සුප් ලබා දීම ඉතා ගුණවත් බව පැවසේ. එමෙන්ම එලෙස සකසන කැඳ හෝ සුප් නිරෝගී පුද්ගලයන්ටද නිරෝගී බව දිගටම පත්වාගෙන යෑමට ඉවහල් වේ.

කොස් ඇට, හාල්මැස්සන් හෝ කූනිස්සන් හා පොල් තිබ්බටු සමඟ මිශ්‍ර කරමින් සාදාගන්නා තිබ්බටු මැල්ලුම ඉතාමත් රසවත් ය. මංඤ්ඤොක්කා කොළ මැල්ලුම සෑදීමට එම කොළ කොටා ගන්නා අවස්ථාවේදී එයට තිබ්බටු කිහිපයක් ද එකතු කර ගැනීම පැරණි ගෘහණියන්ගේ සිරිතය. එසේ කිරීමෙන් මංඤ්ඤොක්කා කොළ මැල්ලුම තවත් රසවත් වන බව ඔවුන් විශ්වාස කරයි.




තිබ්බටු ඖෂධයක් ලෙස,


ඉහත කී ආකාරයෙන් ඉතා රසවත් ආහාරයක් වන තිබ්බටු අපගේ ලෙඩ රෝග රාශියක් සමනය කිරීමේ ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

තිබ්බටු අපගේ ආහාර ජීරණ ක්‍රියාවලිය හොඳින් සිදු කිරීමට උදව් වන ආහාරයකි. මෙහි ඇති ගුණ නිසා මේවා ආහාරයට ගැනිමෙන් ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා හා පනුවන් නැසෙන බව කියැවේ. ආහාර රුචිය ඇති කරන ගුණයන්ගෙන් හෙබි නිසා ආහාර අරුචියෙන් පෙළෙන අයට ආහාර රුචිය ඇතිකරලීමට උදව් වේ. උදරාබාධ සුව කිරීමේ හා අජීර්ණ වේදනා සමනය කිරීමේ ගුණයන්ගෙන් යුක්තය. අම්ලපිත්ත රෝගයටද ගුණදායකය. මලබද්ධය හා අර්ශස් රෝග නසන ඔසුවකි.

තිබ්බටුවලට වාත හා සෙම් රෝග පාලනය කිරීමේ විශේෂ හැකියාවක් ඇති බව පැවසේ. එම නිසා සෙම පැසවූ විට හා සෙම නරක් වූ විට වාත රෝග ඇති වූ විටද ඒවා සමනය කිරීමට තිබ්බටු වලට හැකියාවක් ඇත. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආබාධ හා ස්වසන ආබාධ නසන ඉතා වටිනා ඔසුවක් ලෙස මෙය හැඳින්විය හැක.

තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කිරීමේ ගුණ අඩංගුය. ඒ හේතුවෙන් ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට ගැනීමට සුදුසු ය. මෙහි ඇති පෝෂ්‍ය පදාර්ථයන් නිසා දරුවන් ලැබූ මව් වරුන්ට දරුවන් ලැබුණු මුල් කාලයේ එනම් සූතිකා සමයේ ආහාරයට ගැනීම සුදුසු ආහාරයක් ලෙස සැලකේ  එහෙත් රුධිරය පිටවීම වැඩි මව්වරුන් මේවා අහාරයට ගැනීම නුසුදුසු ය.

තිබ්බටු අක්මාව නිරෝගී කිරීමේ ගුණයන්ගෙන් යුක්තය. සෙංගමාලය වළක්වයි. හදවත උත්තේජනය කිරීමේ හැකියාවක් ඇති නිසා රුධිර නාලවල ලේ කැටි ගැසීම් පාලනය කරමින් රැධිරය පිරිසිදු කරයි. එමඟින් අධි රැධිර පීඩනය හා අංශභාගය වැළකේ. තවද මේවා හට මූත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් පවතින බව කියැවේ. එමෙන්ම්  මාන්දම, ඇස් රෝග වළකයි. සන්ධි ඉදිමුම් අඩු කරයි.

ඉතින් තිබ්බටු ශාකය ඕනෑම පරිසරයක හොඳින් වර්ධනය වන නිසා ඔබේ නිවසේත් ඉඩකඩ ඇති තැනක තිබ්බටු පැලයක් සිටුවා ගෙන එයින් ලැබෙන මේ මහඟු ඵල නෙලා ගනිමු.

පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: