වින්ඳේ නුඹයි ආදරේ Sinhala Short story
"එක්ස්කියුස් මී මිස්.."
"ආ එන්න සමන්."
"මිස් බිසී ද? "
"නෑ සමන්. ඇයි හදිස්සියක්ද?"
"නෑ මිස්. ඩොක්ට ජයසේකර හදිස්සියෙ ගෙදර ගියා බබාට සනීප නෑ කියලා. තව ටිකකින් Blood Report එකක් අරගෙන මහත්තයෙක් එයි කියලා මිස්ට ඒක බලලා ඩොක්ට ට කෝල් එකක් දෙන්න කිව්වා. "
" හා හරි සමන්. තැන්ක් යූ.."
"වෛද්‍ය මිෂෙල් ටානියා ද සිල්වා" ඇයගේ කාමරයේ පිවිසුම් දොරටුවේ පුවරුවක එසේ සඳහන් වී තිබුණි . තවමත් තරැණ විය නොඉක්මවූ වෛද්‍යවරියක වූ ඇය තම පියාගේ හිතවතෙකු වූ වෛද්‍ය ජයසේකර මහතාට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කරමින් සිටියා ය. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගතවී සිටි ඇය දිවයිනට පැමිණ තවමත් ගත වුණේ කෙටි කාලයකි.
"එක්ස්කියුස් මී ඩොක්ට. මේ අයි කමින්..?"
"ප්ලීස් කම්.."
කාමරයට ඇතුළුවන රැව දෙස ඇය නෙත් යොමු කරේ එවිටය. එකවරම ඇය පත් වූයේ විමතියට ය. ඇයට නොදැනීම ඇය අසුනින් නැඟිට ගත්තාය.
"අක්කේ.."
"නංගි ඔයා.."
කාමරයට ඇතුළු වූ තැනැත්තියද ඇය හා සමානව විමතියට පත්ව තිබුණි.
" අක්කෙ එන්න වාඩි වෙන්න.."
ඇය කීවේ හදිස්සියෙ ඇති වූ නිහඬතාවය බිඳලන අටියෙනි.
" නංගි කොහෙද මෙහෙ. කවද්ද ලංකාවට ආවේ...? "
ඇය ඇසුවේ ඉදිරියෙන් තිබූ අසුන වෙත බර වෙමිනි.
"මං ඇවිත් ටික දවසක් අක්කෙ. ඩොක්ට ජයසේකර තාත්තිගෙ යාළුවෙක්. කැමති නම් මට ටික දවසකට මෙහෙ වැඩ කරන්න එන්න කිව්වා. ඒ නිසා මං මෙතෙන්ට ජොයින් වුණා."
" අනේ ඒක නම් ලොකු දෙයක් නංගි. ඔයා මෙහෙ ඉන්න එක. මං ආවෙ ඩොක්ට ජයසේකර හම්බවෙන්න නංගි. ඩොක්ට හදිස්සියෙ ගෙදර යනවා කියලා මට කිව්වා ලේඩි ඩොක්ට කෙනෙක් ඉන්නවා එයාව හම්බවෙන්න කියලා. ඒත් කව්ද හිතුවෙ නංගි ඉඳියි කියලා.. එළියෙ ගහලා තිබ්බෙත් වෙන නමක් නෙ. ඇයි දැන් යෙහන්සා සත්සරණි කියලා පාවිච්චි කරන් නැද්ද නංගි..?"
" හැමදේම වෙනස් වුණා අක්කෙ. මාත් වෙනස් වුණා. නමත් වෙනස් වුණා. මට හැමදේම අලුතෙන් පටන් ගන්න ඕන වුණා අක්කෙ. යෙහන්සා සත්සරණි හිටියෙ ඉස්සර ඔයාලා ගාව. එයා හැමදාම ඔයාලා ගාවම ජීවත් වෙයි අක්කෙ.."
ඇය කීවේ බරැති සුසුමක් වාතලයට මුදා හරිමිනි.
" මං දන්නවා නංගි ඔයා මේ රටෙනුත් ගියෙ වැඩිපුර ඉගෙන ගන්න ඕනෙ නිසාම නෙමෙයි කියලා. අපේ පැත්තෙන් ඔයාට ගොඩක් හිත රිදෙන දේවල් වුණා. කොහෙද මේ අපේ එකා.."
ඇය කියන්නට ගිය වචන යළි ගිල ගත්තාය.
" දැන් ඕවා කතා කරලා තේරුමක් නෑ අක්කේ. ඉතිං මට අක්කා ආවෙ ඇයි කියලා අහන්නත් බැරි වුණානෙ පුදුම වුණ පාර."
ඇය කීවේ අපහසුවෙන් මුහුණට සිනාවක් නඟා ගනිමිනි.
"අනේ අනේ මේ කෙල්ල. ඔයා නම් තාමත් ඉස්සර වගේමයි නංගි. හිත ඇතුලෙ හැමදේම හංග ගෙන අපිව හිනස්සනවා. ඔයා වගේ අය හරි අඩුයි නංගි. කොහෙද අපේ බූරුවට පින නෑ.ඒකෙන් ඔයාව මගේ නංගි කර ගන්න මටත් වාසනාවක් නැති වුණා."
ඇය කියාගෙන ගියේ අවංකවම හදවතින් නැඟුණු වේදනාවකින් යුතුවය.
" ඔයා ඉතිං එදා වගේම අදත් හෙටත් මගේම සහෝදරියක් වගේ තමයි අක්කෙ මට. ඉතිං අක්කා බෙහෙත් ගන්න ද ආවේ? "
ඇය ඇසුවේ ඉතා විඩාබර වූ කතාව වෙනත් පැත්තකට හැරවීමට අවැසි වූ නිසයි.
" අනේ නෑ නංගි. මං ආවෙ ඩොක්ට ජයසේකරට මෙන්න මේ Blood Report එක පෙන්නන්න."
ඇය ලිවුම් කවරයක් මේසය මතින් තැබුවාය.
" අහ් කෝ දෙන්නකෝ. ඒත් මට සමන් කිව්වෙ මහත්තයෙක් එනවා කියලනෙ. එතකොට අක්කා ගැනද කිව්වෙ.?"
"මේක මල්ලිගෙ නංගි. එයාට එන්න තරම් සනීපයක් නැති නිසයි මං මේ දුවගෙන ආවෙ."
"සිතුම් ගේ?"
සොයුරිය හිස වැනුවා ය.
"ඇයි අක්කෙ සිතුම්ට මොකද?"
ඇය ඇසුවේ වේගයෙන් ගැහෙන හද ගැස්මෙන් යුතුවය.
" අනේ මං දන්නෙ නෑ නංගි. කන්න බෑ කියනවා. වැඩක් කරන්න හිතෙන් නෑලු. ඇගට අමාරුයි ලු. දැනුත් නිදි මං එද්දි. ඒකයි ඩොක්ට කිව්වෙ ලේ එකක් බලමු කියලා ඇයි මේ කියලා බලන්න."
ඇය කීවේ හිතේ බරකිනි.
" කෝ ඉන්න බලමු.."
ඇය ලියුම් කවරය දිග හැරියාය. එම වාර්තාවේ කරුණු කියවන විට ඇයගේ අතැඟිලි වෙව්ලන්නට විය. දෑසින් කඳුළු කඩා පැන්නේ ඉදිරියේ සිටි සොයුරිය ද මවිතයට පත් කරමිනි.
" අනේ ඇයි නංගි..?"
ඇය අසන්නෙ විමතියෙනි.
" අ..අනේ අක්..කේ සි..තුම්.."
ඇයට කතා කර ගැනීමටවත් නොහැකි තරම් ය.
" ඇ.. ඇයි මොකද මල්ලිට.. නංගි.. අනේ කතා කරන්නකො.."
ඇයගේ කටහඬ වේගවත් ය.
යෙහන්සා කෑ ගසා හඬන්නට විය.
" සි..තුම්ගෙ ලේ වල HIV පොසිටිව් අක්කේ.. එයාට ඒඩ්ස්.."
"මොනවා.. අනේ දෙයියනේ.."
***************************************************************************************************************
වින්ඳේ නුඹයි ආදරේ ඇති තරම්
සොයා ගන්න බෑ කෙළවරක් කොයිතරම්
මා නුඹට දුන් ආදරේ ඒ තරම්
මට වැරදුනේ ඒකමයි මේ තරම්..

1 comment:
♥️♥️
Post a Comment