කාටද රිඳුනේ.. කව්රු ද හැඩුවේ.. - Sinhala short story
ඈතින් ඇඳී යන බදුලු කෝච්චියේ හඬ පරදවමින් සිරිපාලට ඇසුණේ මුදලාලිගේ ගෝරනාඩුවයි.
"මේක හැමදාම කරන්න බෑනෙ සිරිපාල. මං දැන් තමුසෙට කී පාරක් සැරින් සැරේට සල්ලි දුන්නද. හැමදාම ඇවිත් අතමාරු ඉල්ලනෙ උඹ හිතුවද මං සල්ලි ගස් වලින් කඩනවා කියලා."
"අනේ මුදලාලි ඒ සේරොම මගේ මේ වංගියෙ පඩි සල්ලි වලින් කපා ගන්ට. මේ පාර විතරක් මට ඩිංගිත්තක් උදව් කරන්ට. මුදලාලිට පිං සිද්ද වෙයි."
"ඔව් ඔව් කපා ගන්ට උඹට තියෙනවනෙ මහ ලොකු පඩියක්. අනේ මේ මගෙන් මොකුත් නාහ ඉදින්."
"අනේ මුදලාලි මං ඒ හිලව්වට රෑ එළි වෙනකම් වුණත් වැඩ කොරන්නම්.මට මේ පාර විතරක් උදව් කොරන්ට. මං ආයෙ කරදර කොරන්නෙ නෑ. මට වෙන ඉල්ලගන්ට කෙනෙක් නෑ මුදලාලි."
"උඹටයි මටයි ඕන විදිහට මෙතන රෑ එළි වෙනකම් වැඩ කොරන්ට බෑනෙ සිරිපාල. ඒකටත් මෙතෙන්ට වැඩක් එන්ට ඕන. වැඩ නැතිවුණොත් සල්ලිත් නෑ ඕං. උඹ ඒක නොදන්නව නෙමෙයි නෙ.. ඇත්තටම මං අහන්නෙ සිරිපාල මොකටද උඹට ඔය හැටි සල්ලි..?"
"කෙල්ල ඔන්න ඔය මොනවද ලොකු විභාගෙකට පන්ති යනවා මුදලාලි. තව ටික දොහකින් විභාගෙ. කෙල්ලගෙ පන්ති ගාස්තු ගෙවන්න තියා මඟ වියදමවත් දෙන්ට වත් මයෙ අතේ පිච්චියක්වත් නෑ මුදලාලි. මේ මාසෙ විතරයි මුදලාලි. මුදලාලිට පිං සිද්ද වෙනවා.."
සිරිපාලගේ හඬ ඉතාමත් බැගෑපත් වී තිබුණි.
" අනේ මේ සිරිපාල මට උඹේ පිං වලින් වැඩක් නෑ. ඔන්න ඔහෙ කෙල්ලටත් ගෙදරට වෙලා ඉඳගෙන උඹේ මායියට මහන්ට උදව් කරන්ට කියපන්. ඒකෙන් උඹලට ඔය ණය බරෙන් ටිකක් වත් නිදහස් වෙන්ට පුළුවන්. මොකද ඒකි ඔය විභාග කෙරුවා කියලා මහ ඒජන්ත වෙන්ටද.."
මුදලාලි කියාගෙන කියේ උපහාසාත්මක සිනහවක් මුවට නඟා ගනිමිනි.
"ඔව් ඉතින් උඹලගෙ දරුවොන්ට විතරනෙ මහ ඒජන්ත වෙන්ට පුළුවන්. අපේ එවුන් කරනකොට ඉරිසියාවෙ පැලනවා.."
සිරිපාල සිතුවේ දත්මිටි කමිනි.
"මොකද උඹ රවන්නෙ.. මේ මාත් එක්ක ඕවා තියාගන්ට එන්ට එපා සිරිපාල. ඊට පස්සෙ මං නරක මිනිහා කියන්ට එපා. මේ පාර විතරයි. ගිහින් අර ගනන් බලන ළමයගෙන් ඉල්ල ගනිං."
මුදලාලි කීවේ කඩ පිලෙන් පාරට බහිමිනි.සිරිපාලගේ හිතේ මහා බරක් නිදහස් විය.
"දෙයියන්ට පින්සිද්ද වෙන්ට ඇති යාන්තම්.."
ඔහු තමාටම කියා ගත්තේය.
"මෙන්න සිරිපාල මාමෙ සල්ලි.. අදත් මුදලාලි හොදටෝම දෙහි කැපුවා නේද..?"
"මොනවා කොරන්ටද සුනිමල් ළමයෝ. අපිට ඉතිං හදිස්සියකට කියලා කීයක් හරි ඉල්ල ගන්ට ඉන්නෙ ඔය මනුස්සයා විතරනෙ.."
"ලොකු මිනිස්සු ඔහොම තමයි මාමෙ. පොඩි මිනිස්සුන්ගෙන් මරව මරවා වැඩ ගන්නවා. හරියට කියලා පඩියක්වත් ගෙවන එකක්යෑ. කීයක් හරි ඉල්ලුවොත් ඇගෙන් ඇටයක් යනවා වගේ. ඇහුවොත් කියන්නෙ මේ රස්සාවෙන් දැන් හරි පාඩුයි කොලුවො කියලා."
"ඒක නම් හැබෑව ළමයො.."
මුදල් නෝට්ටු කීපය අතේ ගුලිකරගෙන පිටුපස හැරුණු සිරිපාල එකවරම දුටුවේ කලබලයෙන් සාප්පුව වෙත දිව එන මුදලාලිවයි..
"අර මොකද සුනිමල් ළමයෝ මුදලාලි ගිය පයින්ම ආයෙ දුවගෙන එන්නෙ.."
"ෂුවර් එකට කව්රු හරි මැරුණා කියලා ආරන්චියක් එන්න ඇති මාමෙ.."
සුනිමල් කීවේ එය වැඩි ගණනකට නොගෙනයි.
"සිරිපාල විගහට වරෙං. අන්න කෝච්චියට කෙල්ලෙක් පැනල ලු. ගිහිං බලපං මොකද එතන තත්වෙ කියලා."
හති දාගෙන දිව ආ මුදලාලි කියාගෙන ගියේ ය.
"අනේ මගෙ දෙයියනේ මේ කාලෙ අහන්න දකින්න තියෙන දේවල්. දැන් කොහෙද මිනිය තියෙන්නෙ මුදලාලි..?
"ස්ටේසමට මීටර් සීයක් දෙසීයක් එපිටහට වෙන්ට කියලා තමයි තේ කඩේ කොල්ලා දුවගෙන ඇවිත් කිව්වෙ. මං මේ තේ එකත් තියලා දුවගෙන ආවෙ උඹට ගොහිං බලන්ට කියන්ට.."
"හොඳමයි මං විගහින් ගොහිං බලලා එන්නම් මුදලාලි.."
සිරිපාල ඉක්මන් ගමනින් රේල් පාර දෙසට දුවන්නට විය.
සිරිපාල යනු මේ වන විට අවුරුදු හැටත් ඉක්මවා තිබූ කාටත් හිතවත් ඉතා නිහතමානී මිනිසෙකි. ඉතාමත් සුළු පඩියකට, ජස්ටින් මුදලාලිට අයිතිව තිබූ මිනී පෙට්ටි සාප්පුවේ මිනී එම්බාම් කරන්නෙකු ලෙස ජීවත් වූ ඔහුගේ ලෝකය වූයේ නිවසේ සිටින තම බිරියත් දියණියත් පමණි. ඔහුගේ එකම හීනය වූයේ තම දියණියට හොඳින් උගන්වා ඇයව ඉහළ තලයකට ගෙන ඒමයි. ඔවුන් මේ ඇලී ගැලී සිටින දුප්පත් කමෙන් කවදා හෝ ගොඩ එන්නට හැකි වන්නේ එයින් පමණක් බව ඔහු විශ්වාස කළේය. ඒ පිළිබඳව හැමවිටකම දියණිය හා ද පැවසුවේය. ඇයද ඉගෙනීමට උපන් හපන්කම් දැක්වූ ඉගෙනීමට ඉතා ආශා කල අහිංසක තරැණියක් විය. ඇය අකුරු කෙරුවේ පියා මිනී එම්බාම් කරමින් උපයන සුළු මුදලින් සහ මව ඇඳුම් මසමින් සොයන සුළු මුදලින් ය.
සිරිපාල මිනිය තිබුණු තැනට ලඟා වන විටත් එතැනට බොහෝ සෙයින් සෙනඟ ඇඳී විත් තිබුණි.
"කෝච්චියට වැඳිලා නෙමෙයිලු බං. ඕනෙ කමින්ම හැප්පුණාලු. සුමනෙ අයියත් දැක්කා කියන්නෙ ඇස් දෙකෙන්ම.."
"මූණ හොයා ගන්නවත් බෑ, කව්ද බං මේ කෙල්ල.."
එතැන සිටි අය එසේ කුතුහලයෙන් කතා කරනු ඔහුට ඇසුණි.
"ආ සිරිපාල අයියේ. අලුත්ම බිස්නස් එක බලලා යන්න ඇවිත් වගේ. මුදලාලි කාරයද එව්වෙ.?"
කවදත් කට කැඩිච්ච කතාවක් කියා මිනිසුන්ගේ හිත රිඳවන ගුණේරිස් සිරිපාලගෙන් ඇසුවේ කට කොණකින් සිනා වෙමිනි. ඔහු ඇත්තේ හොදටම බීමත්ව බව සිරිපාලට වැටහිණි. එම නිසා සිරිපාල කිසිවක් නොකියා නිහඬවම සෙනඟ පීරමින් ඉදිරියට පිය නැඟුවේය.
ඒ වන විට පොළිස් නිළදාරීන් ද එතැනට පැමිණෙමින් තිබුණි. සිරිපාල සෙනඟ අතරින් මුලින්ම දුටුවේ මියැදුණු තරුණිය පැලද සිටි පාවහන් යුගලෙන් එකකි. එය ගැලවී මඳක් ඉවත්ට විසිවී ගොස් තිබුණි. එය ඔහුට ටිකක් දෑසට හුරු බවක් දැනුණි. නැවත ඔහු එදෙස බැලුවේය. ඔහුට යමක් සිහියට නැඟුණි. නැත. එලෙස වන්නට නොහැකිය. ඔහු සෙනඟ තල්ලු කරමින් ඉදිරියට ගියේ පිස්සුවෙන් මෙනි.
"අනේ මගෙ දුවේ.."
ඔහු විලාප දෙන්නට විය.
"මේ මොන අපරාධයක්ද දෙයියනේ වුණේ.."
ඔහුගේ සැකය නිවැරදි විය.ඒ උදෑසන නිවසින් පිටව ගිය තම දියණිය යි. තමන් පණ වගේ ආරක්ෂා කළ අහස උසට බලාපොරොත්තු තබා ගත් දියණියයි.
වටේ සිටි පිරිසටද කර කියා ගත හැකි දෙයක් නොමැති විය. ඇය අතේ ගුලි කරගෙන සිටි ලිපිය පොළිස් නිළදාරියෙකු විසින් සිරිපාලට පෙන්වීය.
"අප්පච්චි මට සමාවෙන්න. මට අප්පච්චිගෙවත් අම්මගෙවත් මූණ බලන්න බෑ. මට ජීවිතේ වැරදුනා. ආදරෙයි කියලා මිනිහෙක් මාව රැවැට්ටුවා. මං ඒ මිනිහව විශ්වාස කරා. ඒත් ඌ මාව නැත්තටම නැති කරලා පැනලා ගියා. මට දැන් කාටවත් මූණ දෙන්න බෑ. ඒ නිසා මං යන්න තීරණේ කරා. අනේ මට සමාව දෙන්න අප්පච්චි..
මීට දුව සඳුනි.."
එහි සඳහන් විය. පසුව කළ පරීක්ෂණ වලදී ඇය තෙමස් ගැබිණියක් බව අනාවරණය විය.
*********************************************************************************************************************************************************************
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුණේ
කාටද රිඳුනේ කව්රුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ..
ලෝකයට ඔබ එක් අයෙක් විය හැක. නමුත් ඔබට සැබැවින්ම ආදරය කරන්නන්ට ඔබව ලෝකයක් වටිනු ඇත. පිළිතුරු නොමැති ප්‍රශ්න ලොව තුල නැත. ඉතා සංකීර්ණ ගැටලුවකට වුවද වෙහෙස මහන්සි වුවහොත් කෙසේ හෝ පිළිතුරක් සොයා ගත හැකිය. එය ලෝක ධර්මය යි. එමනිසා තීරණයක් ගැනීමට පෙර දෙවරක් තුන්වරක් නොව සිය දහස් වරක් සිතන්න. කිමද ඔබ ගන්නා එක් වැරදි තීරණයකින් ඔබට සැබැවින්ම ආදරය කරන අයට ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම මැරි මැරී ජීවත් වන්නට සිදු විය හැකි නිසාය.
Short story by Pramodi Peramuna 💜️
තවත් කතා කියවීමට මෙතන click කරන්න
1 comment:
❤️💜
Post a Comment