හන්තානට පායන සඳ - Sinhala Short Story
හන්තාන දෙසින් හමා එන සීතල සුළඟ ගත දැවටෙත්ම අමුතු කිතියකින් ඇගේ මුළු සිරුරම හිරිවැටී යන්නට වූයේ තවමත් ඇයට මේ පරිසරය එතරම් හුරු පුරුදු නොවූ නිසාය. කව්රුන් හෝ ජනේලය හැර දමා යන්නට ඇත. ඇය හෙමින් ජනේල කවුළුව වෙතට පියමං කළාය. එය ඉක්මනින් වසා දමා ගත දවන මේ සිසිලසින් මිදීමට ඇයට තදින්ම අවැසි වුවත් ඈ හෙමින් කවුළුවෙන් එපිටට දෑස් යොමු කළාය. මුළු සරසවි බිමම අන්ධකාරයෙන් වැසී ගොස් ය. මහා රෑස්ස ගස් කළු පැහැති යෝධයන් සේ ඇයට පෙනුණි.
මේ ඇය නේවාසිකාගාරය තුළ ගෙවන පළමු රාත්‍රිය යි. නිවසේදී උණුසුමට ගුලි වුණු ඇගේ සයනය මතක් වී ඇයට හීල්ලිනි. නමුත් තමන් මේ නුහුරු නුපුරුදු බවට හුරු විය යුතු බව ඇය තදින්ම සිතුවාය. ඇය මේ නුහුරු නුපුරුදු පරිසරයට එන්නට සිහින මැව්වේ කුඩා කළ සිටමය. දැන් ඒ සිහිනය සැබෑවක් වී ඇත.
එකවරම වළාකුලකින් වැසී තිබුණු සඳ හෙමින් හෙමින් අන්ධකාරයෙන් වැසී තිබූ බිමට නැවුම් ආලෝකයක් ගෙන එන හැටි ඇයට පෙනුණි. හන්තානට පායන සඳෙහි අසිරිය ඇය දුටුවේ එවිටයි. මේ දසුන දකින්නට තමන් පෙරුම් පිරූ තරම සිහි වී ඇගේ සිහින් දෙතොලතර සිනා මලක් විකසිත විණි.
"හන්තානට පායන සඳ ලස්සනයි ද කියන්න..
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න."
ඔහු මේ පද පෙළ පෙරදා ඇය හා මිමුණුවේ ඔවුන් වෙන්වන්නට සූදානම් වූ අවසන් මිනිත්තු කිහිපයේදී ය. එකම පාසලේ එක පන්තියක ඉගෙන ගත් ඔවුන් දෙදෙනාම හන්තාන සිහිනය දුටුවේ එකටය. මල් පාරේ අත් පටලාගෙන ඇවිද යන්නට ඔවුන් දෙදෙනා සිහින මැවූ වාර ගණන අන්තය. නමුත් ඔහුට එය සැබෑවක් කරගත නොහැකි වීම පිළිබඳව ඇය සිටියේ කනස්සල්ලෙනි. යළිත් කෙදිනකවත් එය සැබෑවක් නොවන සිහිනයක් බවට පත් වූයේ මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබීම පිළිබඳ කම්පනයෙන් සිටි ඔහු නැවත පාඩම් වැඩ කිරීමට උනන්දුවක් නොදැක්වීමයි. ඔහු දැන් සුළු ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ පියාට උදව් කරමින් කාලය ගත කරයි. නමුත් ඔහු කෙරෙහි ඇගේ හිත තුළ පැවැති ආදරය බිඳක් වත් අඩුව ගොස් නැත.
ඇය කවුළුව හෙමින් වසා දමා මේසය වෙතට පැමිණ තම දිනපොත අතට ගත්තාය.
"මාව මතක් වෙන වෙලාවට කවි ලියන්න. නිවාඩුවට එද්දි අරන් එන්න මට කියවන්න.."
ඔහු කියූ හැටි ඇයට සිහි විය. ඔහු වෙනුවෙන් කවි නොලියා තමන් වෙන කා වෙනුවෙන් කවි ලියන්නදැයි ඇය සිතුවාය.
"හන්තානට පෑයූ සඳ ලස්සනයි ද කියන්න
මං එන්නම් ඉක්මනටම මගෙ සඳ නුඹ දකින්න.."
ඇය එලෙස අකුරු කළාය. ඇයගේ මුවට සිනාවක් නැඟුණේ ඔහු ලඟට වී යළිත් දොඩමළු වන හැටි සිතින් මෙනෙහි කළ නිසාවෙනි.
"අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න.."
ඇය එම ගීයේ පද නැවත මෙනෙහි කරන්නට විය.
"අඳුරු ලලා වහිනා කල
දැනෙන සීත මකන්න
නුඹේ සුසුම් වල උණුසුම
පා කර මට එවන්න.."
ඇගේ සුමුදු අතැඟිලි තුඩින් එලෙස ලියැවුණි. තමන් පණ සේ ආදරය කරන ඔහු වෙනුවෙන් ඉතිරි පද පෙළටත් පිළිතුරක් ලිවිය යුතුමය. ඇය අවසන් පද පෙළද මෙනෙහි කරන්නට විය.
"ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න.."
තම පණ වන් ඔහුගේ මතකය ගුලිකර මහ වැලියට විසිකර දමන්නේ කෙසේදැයි ඇය සිතුවාය.
"මහ රුක වන් නුඹ මට ඇති
ලතා මඩුළු කුමටද
නුඹෙ මතකය විසිකර මං
දිවි ගෙවන්නෙ කෙලෙසද..?"
මේ නුහුරු නුපුරුදු පරිසරයේ ඔහු වෙනුවෙන් ලියැවුණු පළමු පද පෙළ ඇය එලෙස අවසන් කළාය. ඇයට දැන් මෙය ඔහුට පෙන්වන තෙක් ඉවසිල්ලක් නැත. ඇයට සිනහවක් නැඟුණේ මෙය පෙන් වූ පසු ඔහුගේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි සිතීමෙනි. කෙසේ වෙතත් මෙය දුටු පසුව නම් ඔහු යළිත් මේ ගීතය තමා හා නොපවසන බව නම් ඇයට විශ්වාසය.
ඇයගේ හිතට දැනුණේ සැහැල්ලුවකි. ඇය දිනපොත හෙමින් වසා දැමුවේ යළිත් ඔහු හමුවන දිනය එන තෙක් ඔහු වෙනුවෙන් තවත් පද පේළි ගණාවක් ලියන්නට ඉඩ ඉතිරි කරමිනි..
*********************************************************************************************************************************************************************
ආදරය පවතින්නේ ලඟින් සිටින තාක් කල් පමණක් යැයි විශ්වාස කරන පිරිසක් ලොව තුළ ඇත. නමුත් එකිනකාට ගව් ගණනක් දුරින් හිඳිමින් ආදරය කරන පෙම්වතුන්ද බොහෝමයක් මේ ලොව තුළ ඇත. ආදරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ නොවෙනස් වන අවංක හදවත් දෙකක් පමණි. එසේ නොමැති නම් ලඟින් සිට ආදරය කළද එය සැබෑ ආදරයක් නොවනු ඇත. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය දුරස් වූ සැණින් බොහෝ ආදර කතා අවසන් වී යන්නේ එනිසාය.
Short story by Pramodi Peramuna 💜️
තවත් කතා කියවීමට මෙතන click කරන්න
No comments:
Post a Comment