Saturday, 25 May 2019

මනුසත් බව - Sinhala short story by Pramodi Peramuna

මනුසත් බව - Sinhala Short Story by Pramodi Peramuna


පැය ගණනාවක් උසස් පෙළ අමතර පන්තියක සිරවී සිටි මා විඩාබර ගතට තවත් වෙහෙස දී ඉක්මන් ගමනින් මහනුවර ප්‍රධාන බස් නැවතුම වෙත දිව ගියේ මා හට ඉක්මනින් නිවස බලා යෑමට අවැසි වූ නිසාවෙනි.  හවස් වී තිබූ නිසා සෑම තැනම සෙනඟ ය. මා ඉක්මනින්ම නිවස වෙතට යා හැකි බස්‍ රියකට ගොඩ වුණෙමි.

එය මහනුවර සිට පොත්තපිටිය බලා දිවෙන බස් රථයකි. මා බසයට ගොඩවනවාත් සමඟම තරමක් තරුණ විය ඉකම වූ බිරිඳ සහ ස්වාමිපුරුෂයා යැයි සිතිය හැකි යුවලක් බසයට ගොඩ වුණි. ඔවුන්ට පිටුපසින් මාද බසයට ගොඩවුණෙමි.

බසයට ගොඩ වුණු වහාම මා ඉහත සඳහන් කළ පුරුෂයා බසයේ දොරටුව ආසන්නයේම පිහිටි අසුනේ වාඩි ගන්නට සැරසුණි. කාන්තාව එකවරම ඔහු වැළැක්වූයේ මාද තරමක තැති ගැන්මකට ලක් කරමිනි.

"ඔතන ඉඳගන්න බෑ. කවුරු හරි ළමයෙක් වඩාගෙන ආවොත් ඉඩ දෙන්න වෙනවා. යං මැද හරියට.."

කී ඇය ඔහුද සමඟ ගොස් ඉදිරි අසුනක අසුන් ගත්තාය. මා ඇය අසුන් ගැනීම ප්‍රතික්ෂේප කළ අසුනේම අසුන් ගත්තෙමි. ඊට හේතුව මා සෑමදාම අසුන් ගන්නේ දොරටුව ආසන්නයේ අසුනක වීමයි. එසේ නොමැති වුවහොත් මට බසයෙන් බැස ගන්නට වන්නේ හොඳටම තැලී පොඩිවීය. නැතිනම් මා බසින තැන පසු කර බසය ඉදිරි බස් නැවතුම් දෙක තුනකටද ගිය විටය. මා බසින තැන එන විට බසයේ එතරම්ම සෙනඟය.

ගමන් ආරම්භ කළ බසය හෙමින් ඉදිරියට ඇඳුණි. ඒ වනවිටත් අසුන් සියල්ල පිරී කිහිප දෙනෙක් සිට ගෙනද සිටියේය. ජනේලය අයිනට වන්නට හිඳගෙන සිටි මා හට එහා පසින් හිඳ සිටියේ තරමක් මැදි වියේ කාන්තාවකි. ඈ මා හා සිනාසුණාය. මාද පෙරළා ඇයට සිනාසුණෙමි. ඈ මා හා කතාවට වැටුණාය. ඇයගේ කතාවට යන්තමින් හූ මිටි තබමින් මාද ඔහේ ගමන් කළෙමි.

බසය ගැටඹේ පන්සල ආසන්නයටම පැමිණ තිබුණි. එවිට ඇය යළිත් කතාව ඇරඹුවාය.

"මං මෙතන ඉඳගන්න කැමති නෑ දුව. දැන් ඉස්සරහ ඉස්පිරිතාලෙ ගාවින් කවුරු හරි නැග්ගොත් ඉඩ දෙන්න වෙනවනෙ. මගෙ මේ කකුලත් අමාරුයි.."

ඇගේ කකුල් අමාරුව ඇත්තක්දැයි මා දන්නේ නැත. ඇය ඔහේ කීවාය. මාද ඔහේ අසා සිටියෙමි.

බසය ගැටඹේ පන්සල පසු කරන්නට වූයේ එවිටයි. මාද ඇතුළුව තවත් බසයේ සිටි බොහෝ දෙනෙක් පන්සල දෙසට දෑත් යොමා වඳිනු මා දුටුවෙමි.  ඇයද ඒ අතර සිටියාය.

බසය පන්සල පසු කරමින් පේරාදෙණිය රෝහල ඉදිරිපිට බස් නැවතුම ලඟ නතර විය. දරුවෙකු වඩා ගත් මවක් බසයට ගොඩ වුණේ එවිටයි.

"ඔය මං කිව්වේ. දැන් නැගිටින්න එපැයි.."

ඇය කීවේ මූණ ඇඹුල් කරගෙනයි.

"ඇන්ටි ඉන්න මං දෙන්නම්.."

මා නැඟිට මගේ අසුන අර මවට පෑවෙමි.

ඒ අතරේ ඉදිරි පසින් බසයේ කොන්දොස්තර මොර දෙනු ඇසුණි.

"ඔය කවුරු හරි ඉස්සරහින් සීට් එකක් දෙන්න. මේ මහත්තයා පොඩ්ඩක් නැගිටලා මෙයාට සීට් එක දෙන්නකො."

බසයට නැඟ සිටි රෝගියා නොදැක්කා සේ වටපිට බලමින් සිටි ජැන්ඩි පහට ඇඳගෙන ටයි එකක් ද පැළඳ සිටි  මහතෙකු අමතා කොන්දොස්තර මහතා කියනු මා සෙනඟ අතරින් දුටුවෙමි. එහෙට මෙහෙට ඇඹෙරෙමින් අඳි මඳි කරමින් ඒ මහතා තම අසුනින් නැඟිට ගන්නට  පෙරුම් පුරන විට ඊට පිටුපස අසුනේ අසුන් ගෙන සිටි මට වඩා වයසින් බාලයැයි සිතිය හැකි තවත් පාසල් දැරියක් තම අසුන රෝගියා වෙත පානු මා දුටුවෙමි.

අතක් බැන්ඩේජ් කර තිබුණු රෝගියා එහි අසුන් ගත්තේ අර දැරියට පින් දෙමිනි. එවිට ඉදිරියේ සිටි මහතා නිදි කිරන්නට පටන් ගත් බව මා යන්තමින් දුටුවෙමි. ඔහුගේ ඒ නින්ද ඇත්තක්ද එසේත් නොමැති නම් සිදුවූ සිදුවීමෙන් හට ගත් ලැජ්ජාව නිසා ඔහු බලෙන්ම නින්දක් තමා වෙතට ගෙන්වා ගන්නට උත්සාහ දැරුවා දැයි මා අදටත් නොදනිමි.

*********************************************************************************************************************************************************************

ඉහත සඳහන් කතාව මීට අවුරුදු හතකට පමණ ඉහතදී මා විසින්ම මුහුණ දුන් සත්‍යය සිදුවීමකි. හුදකලාවේ ගීත අසමින් දැහැන් ගත වී සිටින මොහොතක ඇසුණු මාලනී බුලත්සිංහලයන්ගේ "දකින විට පන්සලක්" ගීතය නිසා මා හට මේ සිදුවීම යළිත් මතකයට නැඟුණි. පොදු ප්‍රවාහන සේවා බොහෝ දෙනෙක් භාවිතා කරන ශ්‍රී ලංකාව තුළ මෙවැනි සිදුවීම් ඉතා සුලභ ය. නමුත් මිනිසුන් වශයෙන් අප කළ යුතුව ඇත්තේ තවත් අසරණ මිනිසෙකු දෙස මනුෂ්‍යත්වයෙන් යුතුව බැලීම නොවේද..?
සිතන්නට ඔබට බාරය.

"දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත් බරව බලනවා..

ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලෙක
කවුළුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැඳි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා..

වාරු නැති මහළු වත නෙතේ ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදිකිරා වැටෙනවා
ලොවේ නැති දහසකුත් ගැටළු සිහියට නගා
අහසබිම ගැටලන්න හදනවා.."

(ගීතය උපුටා ගැනීමකි.)

Short story by Pramodi Peramuna 💜️



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

තවත් කතා කියවීමට මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts

No comments: