නෙතට උළෙලක් විය එදා ඔබ - Sinhala short story
මගේ මුළු ජීවිතයම එක තැන නැවතුණේ මගේ මව මිය ගිය දිනයේදී යැයි මා විශ්වාස කරමි. ව්‍යාපාර කටයුතු බොහෝමයක් සමඟ කාර්යබහුල වී සිටි මගේ පියාට මා හට ආදරය දෙන්නට වේලාවක් නොතිබුණි. ඔහුගේ හිතේ මා කෙරෙහි ආදරයක් තිබෙන්නට ඇත. නමුත් ඔහු එය මට පෙන්වා නැත. මට ඔහුගේ ආදරය දැනී ද නැත. මා සැමදාම ආදරය, උණුසුම සෙව්වේ මෙහෙකරුවන්ගේ තුරුලේය. ඒත් ඒ ආදරය මා සෙවූ ආදරය නොවන බව නම් මා දනිමි.
මේ සුවිසල් නිවසේ මට අතට පයට මෙහෙකරුවන්ගෙන් නම් අඩුවක් නැත. මට අවැසි සියලු දෑම ඔවුන් මා වෙත සපයනු ලබයි. ඒත් මගේ ජීවිතේ ලොකුම අඩුපාඩුව ඔවුන්ට කිසිදිනෙකවත් සැපයීමට නොහැකි බව ඔවුන් දන්නේ නැත.
මා ටිකක් හෝ ජීවත් වනවා යැයි මට දැනෙන්නට ගත්තේ මා උසස් පෙළ කරන අවදියේදීය. පියා නිවසට ගුරුවරුන් ගෙන්වා මා හට ඉගැන්වීමට බොහෝ සෙයින් උත්සහ දැරුවද මා දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු මාව නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියකට ඇතුළත් කළේය. නමුත් මා පාඩම් වැඩ වලට දැක්වූ මැලිකම නිසාම සැමදාම මා අමතර පන්තිවලදී අපහසුතාවයට පත් වුණි. එයින් මා මුදවා ගත්තේ අප පන්තියේම ඉගෙනුම ලබමින් සිටි තවත් එක සිසුවියක විසිනි. ඇය මා වෙතට යොමු කරනු ලැබුවේ මගේ උපකාරක පන්ති ගුරුවරයා විසින්ම ය. ඇය මා හට පාඩම් කිරීමට ආසවක් ඇති කළාය. අසීරු පාඩම් කියා දුන්නාය. ඇයට පින් සිදු වන්නට මා යන්තමින් උසස් පෙළ සමත් කර ගතිමි. ඒ වන විට අප දෙදෙනා නොදැනුවත්වම පෙම්වතුන් බවට පත් වී තිබුණි.
කාලය හෙමින් ගත වුණි. මා ඉතා ධනවත් පවුලක තරුණයෙකු බව ඇය දැන ගත්තේ අප පෙම්වතුන් බවට පත් වූවාටත් පසුවය. එදින සිට ඇය හිතා මතාම මගෙන් ඈත් වෙන්නට උත්සහ දැරුවාය.
"ඔයාගෙ ඩැඩී කවදාවත් කැමති වෙන එකක් නෑ මං වගේ කෙනෙක්ව බඳිනවට. අපි හරි සාමාන්‍ය පවුල් වල මිනිස්සු. කිව්වම තේරුම් ගන්නකො. මේක හරි යන එෆෙයාර් එකක් නෙමෙයි."
ඇය සෑම මොහොතේම එලෙස කියන්නට පටන් ගත්තාය.
තාත්තාගේ ව්‍යාපාර වලින් මට ඇති වැඩක් නැත. මා ඒ පැත්ත පළාතක යන්නේද නැත. මා ඇයට එය කිහිප වතාවක්ම කියා ඇත. සැබැවින්ම ව්‍යාපාර කටයුතු පිළිබඳව කිසිදු උනන්දුවක් මා තුළ තිබුණේම නැත. මට අවැසි වූයේ ඇයම පමණි. මගේ දිවියට ආලෝකයක් ගෙන ආ ඇයම පමණි. මා ඇයට එය තේරුම් කර දෙන්නට බොහෝ සේ වෙහෙස විණි. ඒත් ඇය එය තේරුම් ගත්තේ නැත. ඇය සැම විටම සිතුවේ මා පසු කලෙක වෙනස් වනු ඇතැයි කියාය. අවසානයේදී නැවතත් මගේ ජීවිතය අඳුරටම ඇඳ දමමින් ඇය ද යන්නට ගියාය.
ඇය මගෙන් ගොස් දැන් අවුරුදු හතකි. එදා සිට අද තෙක් යළිත් මා මගේ ජීවිතය ඔහේ ගෙවා දැමුවෙමි. ඇය කොතැනක හෝ හොඳින් සිටිනවා වන්නට ඇත. ඇයට ලැබෙන සහකරුවා ඉතා වාසනාවන්ත කෙනෙකු වන බව නම් මා හොඳාකාරවම දනිමි. එකල ඇය මා ගැනද සොයා බැලූ ආකාරය පුදුම සහගතය. ඇයව මට අහිමි වූයේ මේ මිල මුදල් සැප සම්පත් නිසාය. එදා සිට මා ඒවාට වෛර කළෙමි.
මගේ පියා නැවතත් විවහ වීමට යන බව මා හා පැවසුවේ ඊයේ ය. මට ඔහුට කියන්නට දෙයක් නැත. ඒ ඔහුගේ සතුටය. ඔහු මේ තරම් කල් හෝ ඉවසා සිටින්නට ඇත්තේ මා නිසා වන්නට ඇත. එසේත් නොමැති නම් ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඔහුට ඔහු ගැන සිතන්නට වෙලාවක් නැති වන්නට ඇත.
පසුගිය දිනවල නිවසේ මෙහෙකරුවන් ඔහු ගැන කතා කළ දේවල් එතරම් හොඳ නැත. ඔහුගේ පෞද්ගලික ලේඛම් වරිය සමඟ ඔහුගේ නොමනා සම්බන්ධයක් ඇති බව ඔවුන් කතා වෙනු මට කණින් කොණින් ඇසී තිබුණි. නමුත් මා එය වැඩි දුරටත් සිතන්නට නොගියෙමි. ඔහු විවාහ වන්නට යන්නේ ඇය සමඟ දැයි මා දන්නේ නැත. විටෙක ඒ වෙනත් අයෙකු වීමට ද ඉඩ ඇත. කෙසේ හෝ දැන් ඔහු ඒ තීරණය අරගෙන අවසානය. ඉතිං මා හට එයට සතුට පල කරනවා හැර වෙන කරන්නට යමක් තිබේද..?
අද උදෑසන සිටම මුළු නිවසම සූදානම් වන්නේ ඔහුගේ අනාගත බිරිඳ එසේත් නැතිනම් මාගේ අනාගත කුඩම්මාව පිළිගැනීමට ය. ඇය මුණ ගැසෙන්නට මට කිසිදු කැමත්තක් නොමැති වුවත් පියාගේ වචනය සළකමින් ඈ හා වචන දෙක තුනක් හෝ කතා කරන්නට මා හිත හදා ගත්තෙමි.
පියාගේ වාහනය නිවස ඉදිරිපිට නතර වූණු හඬ ඇසී මා පහත මාලයට පැමිණියෙමි. මේ පැමිණෙන්නේ මේ නිවසේ අනාගත පාලිකාවයි. ඇය මා හට මවගේ අඩුව පුරවාවි දැයි මා දන්නේ නැත. නමුත් මගේ පියාට හොඳ සහකාරියක වුවහොත් ඒ හොඳටම ඇති ය.
පියාගේ අතගෙන නිවසට ගොඩවුණු ඇයව මා දුටුවෙමි. ඇයද මාව දුටුවාය. මට දැනුණේ මගේ මුළු ආත්මයම ඇගේ පා ඉදිරියේ දැවී අළුවී ගියාක් මෙනි. පියා ඇයව මා හට හඳුන්වාදෙමින් කුමක් දෝ කියනවා මට සිහිනයෙන් මෙන් ඇසුණි.
කාලයක් මගේ ජීවිතය සඳක් සේ ආලෝකවත් කළ මගේ ඒ සඳවතිය අද මගේ පියාගේ අතේ දැවටී මගේ කුඩම්මා ලෙස මගේ නිවසටම පැමිණ සිටියා ය.
*********************************************************************************************************************************************************************
"නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුණිද මංදා.."
(ගීතය උපුටා ගැනීමකි.)
Short story by pramodi peramuna 💜️
(ජායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න.
No comments:
Post a Comment