සිත ඔබ පාමුල රඳවා - Sinhala short story
"දැන් බය වෙන්න දෙයක් නෑ. සේරම හරි.."
ඩොක්ටර් කිව්වෙ මගේ පිටට තට්ටුවක් දාන ගමන්. වචන වලින් නොකිව්වට අම්මගෙයි තාත්තගෙයි මූණු වල තිබුණු සතුට සැනසීම මං හොඳටම දැක්කා.
"තැන්ක් යූ ඩොක්ටර්.."
"දැන් ඉතිං හැමදේම තියෙන්නෙ මිස්ටර් තේමියගෙ අතේ. අපි අපිට පුළුවන් දේ කරා. ඉස්සරහට පරිස්සමෙන් වැඩ කරන්න වෙයි.."
ප්‍රසන්න හිනාවක් එක්ක එහෙම කියපු ඩොක්ටර් යන්න ගියා.
ඇත්ත. මං හුගක් මෝඩ කම් කරා තමයි. සල්ලි, නොගැලපෙන යාළුවො මට ජීවිතේ වැරැද්දුවා. තව උපතින්ම අරන් ආව මගේ මුරණ්ඩු ගති පැවතුමුත් මාව මේ තැනට වැටෙන්න ලොකු හේතුවක් වුණා. තව පොඩ්ඩෙන් මං අද ඉන්නෙ මිනී පෙට්ටියක වෙන්න තිබුණා. මගේ අහිංසක අම්මටයි තාත්තටයි මං දුන්න ගින්දර මතක් වෙද්දි දැනුත් මට හීල්ලෙනවා. මට අසනීප වෙලා මැරෙන්න නොවැටෙන්න මං තාමත් මගේ පරණ පුරුදු සෙල්ලක්කාර ජීවිතේම ඉඳගෙන මට ආදරේ කරපු මිනිස්සුන්ට දුක් දිදීම ඉන්න ඉඩ තිබුණා.
මේක හරියට මගේ ජීවිතේ දෙවෙනි උපත වගේ. මට මේ ලැබුණෙ ජීවත් වෙන්න තව එක චාන්ස් එකක්. මට ආයෙත් ඒක නැති කරගන්න බෑ. එදා හිටිය යාළුවො කවුරුත් මට ලෙඩ වුණ දවසෙ ඉඳන් ලඟ හිටියෙ නෑ. මගේ ලඟ හිටියෙ මගෙ අම්මයි තාත්තයි විතරයි. ඒත් තවත් කෙනෙක් අද මෙතන ඉන්න ඉඩ තිබුණා නේද කියලා හිතෙද්දි මටම සමාවක් දීගන්න බැරි හැඟීමකින් මගේ මුළු ඇගම වෙව්ලලා යනවා.
"පුතේ පුතාට වකුගඩුව දීලා තියෙන්නෙ සයුරි කියලා ගෑනු ළමයෙක්. පුතා කිව්ව නිසා මං හොයලා බැලුවා.."
මං පියවි ලෝකෙට ආවෙ තාත්තගෙ කටහඩින්. මට ඊයෙ ඉඳන් දැන ගන්න ඕනෙ වෙලා තිබුණ දේ. වකුගඩුවක් හොයා ගන්න බැරුව මැරෙන්න පණ ඇඳ ඇඳ හිටිය මට එක සැරේම වකුගඩුවක් දීලා මූණවත් පෙන්නන්නෙ නැතුව ගිය කෙනා ගැන මට දැනගන්න ඕන වුණේ මට ආපහු ජීවිතේ දුන්නෙ ඒ කෙනා නිසා.
"සයුරි..?" මං කල්පනා කරා. මං එහෙම කෙනෙක්ව දැනෙගෙන හිටියෙ නෑ. එහෙනම් මං අඳුරන කෙනෙක් නෙමෙයි ඒ. ඉතිං නාඳුනන මං වෙනුවෙන් නොමිළේ ඒ වගේ පරිත්‍යාගයක් කරන්න තරම් ඒ කෙනා කොච්චර උතුම් කෙනෙක් වෙන්න ඕනෙද. කොහොම හරි ඒ කෙනාව හොයා ගන්න ඕනෙ කියන එක මගේ හිතට තදින්ම හිතුණා. අඩුම මට ආයෙ ජීවිතේ දුන්න එකට ස්තූතියි කියලා කියන්නවත් තිබ්බ නම් මට ඒ හොඳටම ඇති.
ටිකක් සනීප වුණු ගමන්ම මං කරේ හොස්පිට්ල් එකෙන් හොයා ගත්ත තොරතුරු එක්ක සයුරිව හොයාගෙන ගියපු එක. ඒ එඩ්රස් එකේ තිබ්බෙ අනුරාධපුරේට කිට්ටු ගමක්. කොච්චර දුරක් වුණත් මට ඒක දුරක් වගේ නොදැනුණේ මට සයුරිව හොයා ගන්න තිබ්බ උනන්දුව ඊට වඩා වැඩි නිසයි.
කොහොම හරි අමාරුවෙන් එඩ්රස් එකේ තිබුණු ගෙදර මං හොයා ගත්තා. ඒත් ඒක තිබුණෙ ටිකක් පාලුවට ගිහින් වගේ. ටිකක් වයසට ගියපු කෙනෙක් මගේ ලඟට ආවෙ මං ගේ වටේ විපරම් කරනවා දැකලා.
"මහත්තයා කාවද හොයන්නෙ..?"
"මේ සයුරි කියලා කෙනෙක් මේ ගෙදර ඉන්නවද..?"
මං පාලුවට ගියපු ගෙදර පෙන්නලා ඇහුවා.
"මේ ගෙදර අයිති මට මහත්තයා. සයුරි නෝනා මෙහෙ කුලියට හිටියෙ. දැන් මාසෙකට විතර කලින් එයා මෙහෙන් ගියා. දැන් කොහේ ඉන්නවද කියලා නම් දන්නෙ නෑ.. අම්මලා ලඟට යනවා කියලා තමයි කිව්වෙ."
ඒ කතාවෙන් මගේ බලාපොරොත්තු සේරම නැති වෙලා ගියා වගේ දැනුණා. මං ඒ කෙනාට ස්තුති කරලා ආපහු හැරුණෙ ගෙදර එන්න. එතකොටම ඒ කෙනා ආයෙමත් මට කතා කරා.
"මහත්තයා පොඩ්ඩක් ඉන්න. මහත්තයගෙ මූණුවර මට හොඳට හුරුයි. මං මේ කතා කරන ගමනුත් හිතුවෙ ඒක. මට දැන් මතක් වුණේ සයුරි නෝනා ගාව තිබ්බ පින්තූරෙ මහත්තයගෙ."
මේ මොන අපභ්‍රංශයක්ද. මගෙ පින්තූර කොහෙද සයුරි ලඟ. මට මොකුත් හිතා ගන්න බැරි වුණා.
"ම..මට තේරුන් නෑ ලොකු උන්නැහේ.."
"මහත්තයගෙ නම තේමිය ද..?"
"ඔ..ඔව්.. ලොකු උන්නැහේ කොහොමද දන්නෙ.."
මං ඇහුවෙ පුදුමෙකින්.
"සයුරි නෝනගෙ පුතා හැමවෙලේම ඔය නම මුමුණනවා මහත්තයා. ඒ පොඩි දරුවා නම් හැමදාම බලාගෙන හිටියා තාත්තා එනකම්. මට දුක මහත්තයා ආපහු ඇවිල්ලත් ඒ පොඩි දරුවට තාත්තගෙ මූණ බලා ගන්න බැරි වුණු එක.."
පපුව ඇතුළෙන් පටන් ගත්ත ගැස්මක් මුළු ඇග පුරාම දුවනවා වගෙ මට දැනෙන්න පටන් ගත්තා. කව්ද මේ සයුරි. සයුරිගෙ දරුවගෙ තාත්තා මං වුණේ කොහොමද. මට ළමයි කොහෙන්ද. මගේ හිතට එකේක දේවල් ගොඩක් එන්න පටන් ගත්තෙ එකවර.
"මහත්තයා පොඩ්ඩක් ඉන්න. මට මහත්තයට දෙන්න දෙයක් තියෙනවා.."
එහෙම කියලා ඒ කෙනා උඩින් තිබ්බ ගේ පැත්තට ගියා. මං ඒ දිහා බලන් හිටියෙ අසිහියෙන් වගේ. මට මගේ ලිහිණි මතක් වුණා. මේක වෙන්න පුළුවන් දෙයක්ද. ලිහිණි, සයුරි, සයුරිගෙ කියන දරුවා මේ සේරම මගේ ඔලුව ඇතුළෙ එහාට මෙහාට සැරිසන්න ගත්තා. ලියුම් කවරයක් අතට අරන් ආයෙමත් අර මනුස්සයා මගේ ඉස්සරහට ආවෙ එතකොට.
"සයුරි නෝනා මේක දීලා ගියෙ. අර ෆොටෝ එකේ හිටිය තේමිය මහත්තයා කවදා හරි සයුරි නෝනව හොයන් ආවොත් මේක දෙන්න කිව්වා. මං හිතන්නෙ නෝනා දැනගෙන ඉන්න ඇති මහත්තයා නොනව හොයාගෙන එන බව.."
මං ඒ ලියුම් කවරෙ ගත්තෙ වෙව්ලන ඇඟිලි වලින්. වචනෙන් දෙකෙන් අර මනුස්සයට ස්තුති කරපු මං ඉක්මනින්ම වාහනේ ඇතුළට ඇවිත් ලියුම් කවරෙ දිග ඇරියා. ඒකෙ මුලින්ම තිබුණෙ පුංචි දරුවෙක්ගෙ ෆොටෝස් වගයක්. පුංචිම කාලෙ ඉඳලා අවුරුදු හතරක් වෙනකම් ගත්ත ෆොටෝස් එතන තිබුණා. තවත් සැක කරන්න දෙයක් නෑ ඒ හුරුපුරුදු බව මට හොඳටම දැනුණා. මං ඉක්මනටම ඒ අතරෙ තිබ්බ කඩදාසිය දිග ඇරියෙ මුළු ඇගම ගැහෙද්දි.
දෙවියනේ ඒ අකුරු.. ඒ අකුරු මං අඳුරගත්තා.
ආදරණීය තේමිය,
මේ ලියුම ඔයාට ලැබෙන කොට මං අපේ පුංචි පැටියත් එක්ක මේ රටෙන් හුගාක් ඈතකට ගිහින් ඉවරයි. මං දන්නවා හොස්පිට්ල් එකෙන් එඩ්රස් එක හොයාගෙන ඔයා මෙහෙ එන්න ගොඩක් දුරට ඉඩ තියෙන බව. ඒ නිසා ඔයා නොදන්න දෙයක් ගැන ඔයාට කියන්න මං මේ ලියුම ලියන්න හිතුවා.
ඔයා අද වෙනකම් දැන ගෙන ඉන්න නැතුව ඇති ඔයා තාත්තා කෙනෙක් කියලා. එදා අන්තිම වතාවට ඔයා මාව දැක්ක දවස ඔයාට මතකද. ඔයා හොඳටම බීලා ඇවිත් මගෙන් ඩිවෝර්ස් එක ඉල්ලලා මට හොඳටම ගහපු දවස. එදා මං ඔයාගෙ බල කිරිල්ලට ඩිවෝර්ස් පේපර්ස් සයින් කරලා ඔයාගෙ ලොකු මාළිගාවෙන් එළියට බැහැලා එද්දි ඔයාගෙ ලේ වලින් මගේ බඩේ දරුවෙක් හැදෙනවා කියලා ඔයා දැනන් හිටියෙ නෑ. ඒක මං ඔයාට කියන්න අනන්තවත් උත්සහ කරත් බෝතලේටයි ගෑනුන්ටයි වහ වැටිලා හිටිය ඔයාට මට ඇහුම්කන් දෙන්න වෙලාවක් තිබුණෙ නෑ.
හැමදේම නැතිවෙලා ජීවිතේම කළකිරිලා හිටිය මම ජීවත් වෙන්න හිත හදා ගත්තෙ ඒ අහිංසක දරුවා වෙනුවෙන්. අපේ වැරදි වලට ඒ දරුවා පලි නෑ නෙ. මං හැමෝගෙන්ම ඈතට ඇවිත් කාටවත් හොයා ගන්න බැරි තැනක නැවතිලා සයුරි විදිහට වෙන නමකින් මගේ ජීවිතේ අලුතෙන් පටන් ගත්තා. මට පුළුවන් විදිහට අපේ පුංචි පැටියව මං හදා ගත්තා. දැන් එයාට අවුරුදු හතරක්. එයාගෙ ෆොටෝස් මේ ලියුම එක්ක ඇති.
ඔයාට වකුගඩුවක් ඕනෙ කියලා මං දැනගත්තෙ අහම්බෙන්. දවසක් පත්තරේ බලද්දි ඔයාගෙ ගෙදර එඩ්රස් එකයි තාත්තගෙ ටෙලිෆෝන් නම්බර් එකයි එක්ක වකුගඩුවක් ඕනෙ කියලා දැන්වීමක් දැක්කා. ඒ වෙලාවෙ වෙනදා වගේ ඔයාව අමතක කරලා දාලා හිත හදාගන්න මට බැරි වුණා. මොනා වුණත් ඔයා මගේ දරුවගෙ තාත්තා. ඒ නිසා මං ඔයාට වකුගඩුවක් දෙන්න තීරණේ කරා. මං ඒ ගැන පසුතැවෙන්නෙ නෑ.
මං අවසාන වතාවට ඔයාගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි. ඔයාගේ ලේ වලින් හැදුණු අපේ පැටියව මං පරිස්සම් කරගත්තා වගේ මගේ ලඟ තිබිලා ඔයාගෙ වෙච්ච වකුගඩුවත් ඔයා පරිස්සම් කර ගන්න. මොකද මට නීතියෙන් අයිතියක් නැති වුණත් මගේ දරුවගෙ තාත්තා හොඳින් ජීවත් වෙනවට මං කැමති නිසා.
බුදු සරණයි.
මීට,
කාලයක් ඔයාගෙ වෙලා හිටිය ඔයාගෙ ලිහිණි.
***********************************************************************************************************************************************************************
සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන්
සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා..
(ගීතය උපුටා ගැනීමකි.)
Short Story by Pramodi Peramuna 💜️
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවන්න මෙතන click කරන්න,
1 comment:
Heart touching
Post a Comment