Thursday, 6 June 2019

පාඩම - Sinhala short story by Pramodi Peramuna

පාඩම - Sinhala short story


"අයියෝ කට් කට්.."

ඩිරෙක්ටර් කාරයට අදත් එකසිය ගානට මල පැනලා වගේ. දැන් පටන් ගනී සද්ද පූජාව. ෂිට් මේ ගෑණි එක්ක වැඩකට ආවොත් ඔහොමම යි.

"මල්ෂි මං කී පාරක් කියලා තියෙනවද ෂූට් එකට එන්න කලින් හරියට ස්ක්‍රිප්ට් එක බලන් එන්න කියලා. කියන්නෙ මොනවත් මූණෙන් පේන්නෙ තව මොනවත්. මට දැන් එපා වෙලා තියෙන්නෙ. ෂිට්."

ඩිරෙක්ටර්ට යකා නැඟලා. ඇත්තනෙ දැන් දවසක් ද දෙකක් ද. මේ මෝඩ ගෑනිට හැමදාම කියනවා ඒත් හැදෙන් නෑ. කොහෙද මහ ලොකු උද්දච්චකම ලොකුයිනෙ ඉහටත් උඩින්. මං හෙමීට බැලුවෙ මල්ෂිගෙ මූණ දිහා. ඒ මූණෙන් ඩිරෙක්ටර් කිව්ව කිසිම දෙයක් ගානකට ගත්ත බවක් නම් පෙනුන් නෑ. ඩිරෙක්ටර් මෙලහකටත් මෙයාව එලවලා මේ ඩ්‍රාමා එක ප්‍රඩියුස් කරන්නෙ මල්ෂිගෙ අයියා නොවුණා නම්. ඒකයි මෙයාගෙ මේ ලොකු සීන් ඔක්කොම. මං ෂේප් එකේ මල්ෂිට කිට්ටු කරා.

"මොනාද හලෝ කරන එක හරියට බලලා කරනවකො. මටත් එක්ක ලැජ්ජයි නෙ.."

ඒක කිව්වා විතරයි මෙන්න මෙයා මාව පිච්චිලා අළු වෙලා යන සයිස් බැල්මක් දාලා රවන්න ගත්තා.

"අනේ මේ. තමුසෙට දැන් ද ලැජ්ජාවක් ආවෙ මං එක්ක ඉන්න. ඉඩියට්. තමුසෙලා සෙරම එකයි. වාසියට විතරයි හැමෝම. අර ඩිරෙක්ටර් කරයි මේ ඩ්‍රාමා එක අයියා නැත්තම්. අනික මට මේක නැති වුණා කියලා ආයෙ වැඩ නැති වෙන් නෑ. මට ඕන තැනක වැඩ තියෙනවා.."

මල්ෂි හැපින්නක් වගේ මගෙ මූණටම කඩන් පැන්නා. ආයෙ ඉතිං මං මොනවා කියන්නද. තව මොනා හරි කියන්න ගියොත් මගෙ වීසා කැන්සල් වෙනවා. මෙයා මේ රඟන්නෙ අයියගෙ පවර්ස් ඇගට අරන්. අනේ මට මොකද ඕන එකක් කියලා මං පැත්තකට වුණා.

අහ් මම පහන්. මම නම් ඉතිං ගමේ ඉඳන් පුදුම තරම් කට්ටක් කාලා මේ ෆීල්ඩ් එකට ආව කොල්ලෙක්. එතකොට මල්ෂි කියන්නෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ඇත්තටම කිව්වොත් නමට විතරයි. මට මේ වෙනකම් කවදාවත් එයා ගැන ආදරෙන් හිතන්න පුළුවන් වෙලා නෑ. එයාව මට හැමවෙලේම පෙනුණෙ මට ඉහළට යන්න උදව් කර ගන්න පුළුවන් ඉනිමඟක් විදිහට විතරයි. එහෙම නැතුව මේ වගේ යක්ෂණියක් ගර්ල් ෆ්‍රෙන්ඩ් කර ගන්න මට නෙමෙයි මේ ලෝකෙ කිසි මිනිහෙක්ට ඕනෙ ඇති කියලා මං හිතන්නෙ නෑ.

 මල්ෂිට තිබුණෙ හැමෝම වශී වෙන විදිහෙ සෙක්සි ෆිගර් එකකුයි උතුරලා පිටාර ගලන තරම් සල්ලියි විතරයි. ‍රඟපාන්න හැකියාවක් කියලා දෙයක් ගෑවිලාවත් තිබුණෙ නෑ. එයාගෙ අයියගෙ සල්ලි වලට පිං සිද්ද වෙන්න එයා නිළියක් වෙලා තිබුණා. 

පොඩි කාලෙ ඉඳන් නළුවෙක් වෙන්න ආසාවෙන් හිටය මං කොළඹ ආවෙ පත්තරේ දැන්වීමක් දැකලා. ඒකෙනම් තිබුණෙ හොඳම නලුවා හෝ නිළිය වුණු කෙනාට වෙන රටකට ගිහින් රඟපෑම ගැන ඉගෙන ගන්න ස්කොල් එකක් දෙනවා කියලා. ඒත් මට හොඳම නලුවා වෙන්න බැරි වුණා. ඒත් මං ආපහු ගමට ගියෙ නෑ. අන්තිමෙට තැන් තැන් වල කට්ට කාලා තමයි මට මල්ෂිගෙ අයියගෙ ඩ්‍රාමා එකක වැඩ කරන්න ලැබුණෙ. ඒකත් අහම්බෙන්. එදා තමයි මට මල්ෂිව මුලින්ම හම්බ වුණේ. ගෑණි මගේ හැන්ඩ්සම් ලුක් එකට වශී වුණා. එයාමයි බලෙන් එෆෙයාර් එක පටන් ගත්තෙත්. මටත් නිකං වාසනාව ගෙදරටම ආව වගෙ වුණා. 

කොහොම හරි ෆීල්ඩ් එකේ අයට පේන්න අපි දෙන්නා කපල් එක වුණා. ඒත් මං ඇරුණම මල්ෂිට තව දෙස් විදෙස් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්නවා. මං ඒවා අහන්න යන්නෙ නෑ. මොකද මට වැඩක් නෑ. මාත් එක්ක යාළු වෙද්දිත් එයා එහෙමයි. ඒත් මට ඒක අදාළ වුණේ නෑ. ඇත්තටම කියනවා නම් මට ඕනෙ වුණේ ෆීල්ඩ් එක අස්සෙ පිවිතුරු ආදරේ හොයන්න නෙමෙයි. එහෙම ඕනෙ වුණානම් මං ගමේ නවතිනවා. මොකද මට පණ වගේ ආදරේ කරපු කෙල්ලෙක්ව ගමේ දාලා තමයි මං මගේ හීනෙ වෙනුවෙන් කොළඹ ආවෙ. මගේ එකම අරමුණ වුණෙ පොඩි කාලෙ ඉඳන් දැකපු හීනෙ හැබෑවක් කරගන්න එක. ඒකට මල්ෂි තරම් හොඳ ඉත්තෙක් මට ආයෙත් හම්බවෙන් නෑ කියන එක මං දැනගෙන හිටියා.

අද මං රටම දන්න ප්‍රසිද්ධ නළුවෙක්. එහෙම වුණේ එයා නිසාමත් නෙමෙයි මගේ දක්ෂකමත් එයාගෙ සල්ලිත් මේ හැමදේම නිසා. එයා නිසා මට අවස්ථා වැඩිපුර ලැබුණා. දැන් නම් මල්ෂි නැති වුණත් මට ප්‍රශ්නයක් නෑ කියලා හිතෙන ස්ථාවර තැනක අද මං ඉන්නෙ. කොහොමත් මේ හොල්මනගෙන් ඉක්මනටම ගැලවෙන්න ඕනෙ කියන අදහස මට ඇවිල්ලයි තිබුණෙ.

මල්ෂිගෙ ගොන් ඇක්ටිං නිසා ෂූට් එක කල් ගියා. මල්ෂිව ගෙදරින් දාලා මං ඇනෙක්ස් එකට ඇවිත් ටිකක් නිදාගන්න කියලා හදද්දි තමයි ඩිරෙක්ටර් ගෙන් මට කෝල් එකක් ආවෙ.

"පහන් මං අද වෙනකම් ඉවසුවෙ මල්ෂිගෙ අයියා නිසා. මට තවත් නම් බෑ. මල්ෂිව හරියන්නෙ රූකඩ නැටුමකට. රඟපාන්න නෙමෙයි. ඕස්ට්‍රේලියා ඉන්න ශ්‍රී ලංකන් ලේඩි කෙනෙක් ටික දවසකට කලින් මාව කන්ටැක්ට් කරා. ඒ ලේඩි හෙට ලංකාවට එනවා. එයා කැමතියි අපේ ඩ්‍රාමා එක ප්‍රඩියුස් කරන්න. තව ඉස්සරහට අපේ ෆීල්ඩ් එකේ ගොඩක් වැඩ එයා ප්‍රඩියුස් කරන්න හිතාගෙන ඉන්නේ. මල්ෂිගෙ අයියා වගේ නෙමෙයි හෙන සල්ලි. එහෙම වුණොත් මං මල්ෂිගෙ කැරැක්ටර් එක ඒ ලේඩි ට දෙනවා. ඔයා කැමතිද අපිත් එක්ක දිගටම වැඩ කරන්න..?"

එක පාරට මොකද්ද කියන්නෙ කියලා මට හිතා ගන්න බැරි වුණා. මටත් ඕනෙ වුණේ මල්ෂිගෙන් ගැලවෙන්න. ඒකට මේක ලොකු චාන්ස් එකක්. මං තවත් නොහිතා හා කිව්වා. හොඳ වැඩේ මල්ෂිගෙ උද්දච්චකමට. මේක ඇහුවම මූණ තියෙයි ඇඹරිච්ච කජු ලෙල්ලක් වගේ. එහෙම හිතලා මං හිත යටින් හිනා වුණා.

ඊට පහුවදා මල්ෂි නම් සෙට් එකට ඇවිල්ලා හෙන ජෝගියක් නැටුවා. මටත් හොඳටම බැනලා ආයෙ එයා ඉන්න පැත්ත පළාතකවත් එන්න එපා කිව්වා. මටත් ඒක එයාගෙ කටින්ම අහගන්න ලැබුණු එක හොඳයි කියලා හිතුණා. දැන් මං නිදහස්.

අලුත් ප්‍රඩියුසර් එක්ක අපි වැඩ පටන් ගත්තා. කෙල්ල හරි හොඳයි. එච්චර වයසකුත් නෑ. සල්ලි තිබුණට පොඩ්ඩක්වත් ආඩම්බර නෑ. එයාට ඩ්‍රාමා ඇන්ඩ් තියටර් ඩිග්‍රි එකකුත් තිබුණා. එයාව දකින හැමවෙලේකම මොකද්දෝ හුරුපුරුදු කමක් දැනුණා. ඒත් ඒ මොකද්ද කියලා තේරුන් නෑ. 

ඔහොම කාලෙ ගතවුණා. මල්ෂියි එයාගෙ අයියයි එකතු වෙලා මට ලැබෙන වැඩ කඩා කප්පල් කරන්න පටන් ගෙන තිබුණා. ආයෙමත් මාව පරණ තැනට වැටෙන්න යන බව මට තේරුණා. මට ගොඩ යන්න තියෙන එකම විදිහ අලුත් ප්‍රඩියුසර් වින්ඩි කියලා මට කල්පනා වුණා. කෙල්ලත් මට කැමැත්තෙන් ඉන්න බව මට තේරිලා තිබ්බෙ. මල්ෂි වගේම වින්ඩිවත් මගේ ඉනිමඟක් කර ගන්න පුළුවන් කියලා හිතද්දි මට දැනුණෙ සතුටක්.

දවසක් ෂූටිං ඉවර වෙලා එයා ෆ්‍රී එකේ ඉන්න වෙලාවක මං එයාට කතා කරා. මං කිව්වා මං එයාට කැමතියි කියලා. මං කිව්ව හැමදේම එයා හරි උනන්දුවකින් අහගෙන හිටියා. 

"ඇයි පහන් ඔයාට මාවත් මල්ෂි වගේම යූස් කරන්න ඕනෙ වුණාද ඔයාගෙ කරියර් ලයිෆ් එක ඉස්සරහට ගෙනියන්න..?"

සමච්චල් හිනාවක් කට කොනකට අරං එයා ඇහුවෙ හරිම නිවිච්ච විදිහට. ඒත් මාව කරකවලා අත ඇරියා වගේ වුණා. 

"න් නෑ.. වින්ඩි මං මේ.."

මට වචන පැටලුණා.

"මිස්ට පහන් වනිගසූරිය ඔයාට මතකද ඉස්සර හැමදාම ඉස්කෝලෙ ගෙදර වැඩ ටික කරන් එන් නැතුව උදේම කෙල්ලෙක්ගෙ පොත් ටික අරගෙන ඒවා කොපි කරගන්නවා. පස්සෙ ලොකු වෙන්න වෙන්න ඒ කෙල්ලට කියලා නෝට් ලියා ගත්ත. ඒ කෙල්ල ලව්වා කෑම ගෙන්නගෙන කවා ගත්තා. බොරුවට ආදරෙයි කිය කිය ඒ කෙල්ල ලවා හැමදේම කරව ගත්තා. අන්තිමේට කොළඹ එන්න තමුන් සල්ලි හොයා ගත්තෙ ඒ අහිංසක කෙල්ලගෙ මාලෙ උකස් තියලා. තමුන්ට මතකද ඒ අතීතෙ..?"

වින්ඩි කියවගෙන යද්දි මාව ගල් ගැහිලා ගියා.

"බලනවා හොඳට ඇස් ඇරලා බලනවා. හොඳට බලනවා මගෙ ඇස් දෙක දිහා."

එහෙම කියලා එයා ඇස් වලට දාගෙන හිටිය අළු පාටට හුරු ලෙන්ස් දෙක ගලවලා අයින් කරා. පාට කරගෙන කොටට කපන් හිටිය කොණ්ඩෙ පිටි පස්සට කරලා ගෙතුවා. දෙවියනේ..

"ස..සඳූ.."

මට මොකුත් හිතා ගන්න බැරි වුණා. 

"ඔව් මං සඳූ තමයි. තමුසෙ අර ගමේ අසරණ කරලා දාලා ආපු සඳූ. මං තමුසෙ එයි කියලා ගොඩාක් කල් බලන් හිටියා මගේ මේ ඇස් රිඳෙනකම්. ඒත් තමුසෙ මට ලියුමක්වත් එව්වෙ නෑ.ඒ නිසා මාත් තමුසෙ දාපු ඩිප්ලෝමා එකටම ඊට පස්සෙ අවුරුද්දෙ ගියා. එතනින් මම හොඳම ඇක්ට්‍රස් වෙලා ස්කොල් එක අරන් ඕස්ට්‍රේලියා ගියා. එහෙදි තමයි මගෙ ජීවිතේ වෙනස් වුණේ. මට එහෙට වෙලා සැපට ඉන්න තිබ්බා. ඒත් මං මෙහෙ ආවෙ තමුන්ට පාඩමක් උගන්නන්න. තමුසෙ මෙහෙ නටපු නාඩගම් සේරම මං දැනන් හිටියෙ. තමුසෙ කවදාවත් කාටවත් ඇත්තටම ආදරේ කරේ නෑ. තමුසෙ ආදරේ කරේ තමුසෙගෙ වාසියට. මං අදම ඩිරෙක්ටර්ට කියනවා තමුසෙව මේ ඩ්‍රාමා එකෙනුත් හලන්න කියලා. හෙට ඉඳන් තමුන්ම තමුන්ගෙ මහන්සියෙන් වැඩක් හොයා ගන්නවා. බයි බායි පහන්. ටේක් කෙයාර්.."

එහෙම කිව්ව එයා ඉඳන් හිටපු තැනින් නැඟිටලා යන්න ගියෙ මගෙ මූණවත් නොබලා. ඊළඟට කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව මාත් ඔහේ එයා ගිය පාර දිහා බලාගෙන හිටියා.

******************************************************************************************************************************************************************************

මා නුඹට පෙම් කළ තරමටම නුඹද මට පෙම් කළා නම් අපේ පෙම් කතාවේ අවසානය තව බොහෝ දුරකය. නමුත් ඊට කම් නැත. නුඹේ විරහවෙන් ලද පන්නරයෙන් මා ජීවිතය ජය ගතිමි. එයට දස දහස්වර මා නුඹට තුති පුදමි..

මීට,
සඳූ.. (වින්ඩි)

Short story by Pramodi Peramuna 💜️



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

තවත් කතා කියවීමට මෙතන Click කරන්න.

☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁



1 comment:

Anonymous said...

Good lesson