කියයි නුඹ හට වැව රවුමෙ රොබරෝසියන් - Short Story
"නෙතූ ඔහොම ඉන්නවා හලෝ.."
වැව රවුම දිගේ මිනිස්සුත් පෙරළගෙන මං එයා පස්සෙ දුවනවා. එයාට ගාණක්වත් නෑ. ඇහෙන් නෑ වගේ ඇඹරි ඇඹරි යන හැටි. එයාට මොකද මං එපැයි ඇගේ හැප්පෙන මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න.
"නෙතූ.."
ඇති යාන්තම් අතින් ඇදලා නවත්ත ගත්තා. අපෝ මූණෙ හැටි. මේ හොල්මන පස්සෙන් නෙ මෙච්චර මහන්සියෙන් දුවගෙන ආවේ.
"මොනාද හලෝ කන් ඇහෙන් නැද්ද. ආ මෙන්න ගන්නවා. මේක ගන්න නැවතුණ ටිකට රොකට් එක වගේ මාවත් දාලා ඉගිලුනාම හරියනවද.."
අයිස් ක්‍රීම් කරත්තෙකින් ගත්ත අයිස් ක්‍රීම් දෙකෙන් එකක් එයාගෙ අතේ තියන ගමන් මං ඇහුවා. කෙල්ල ආසම ෆ්ලේවර් එක. බලමු දැන්වත් යාලු වෙයි ද කියලා.
"මට එපා. ඔයාම කන එකයි ඇත්තෙ දෙකම. මේක දුන්නම මං යාලු වෙයි කියලද හිතුවෙ. ඊළග ටියුට්ස් ටික හරියට පාඩම් කරලා ලකුණු ගන්නකම් ආයෙ මාත් එක්ක කතා කරන්න එපා. අපරාදෙ මගෙ මහන්සිය. ඌරා.."
මොකක් ඌරා?? ඈ මං ඌරෙක් වගේද පේන්නෙ. අද ගෙදර ගිහින් බලන්න ඕනෙ කණ්නාඩියෙන්. අයිස් ක්‍රීම් දෙකම මගෙ අතෙන් තියලා මේකි ගියානෙ. අයියෝ වස නෝන්ඩිය. මිනිස්සුත් බලනවා මං දිහා. දැන් ඉතිං මොනා කරන්නද මගේනෙ ඉතිං වැරැද්ද. එයා කියන විදිහටත් පාඩම් කරන්න බෑ අප්පා. මං මැෂිමක් යෑ. එයා හිතන් ඉන්නෙ මාත් එයා වගේ ඇවිදින කම්පියුටර් එකක් කියලා. ඒත් මං නෙ දන්නෙ මං එහෙම නෑ කියලා.
ඒ පාර මොනාද සීතලට ඇගට වැටුණෙ. මට ඉබේම උඩ බැලුණා. මොකද ඉතිං ෂුවර් නෑනේ වැව රවුමෙ කාක්කොත් වැඩියි නෙ.
ඒ පාර තමයි දැක්කෙ වැස්සක් එන්න යන්නෙ කියලා. අයියෝ අහසත් ඉදලා ඉදලා මාවමනෙ බයිට් එකට ගන්නෙ. කුඩේකුත් නෑ. අපරාදෙ නෙතූ හිටයනම් බලෙන් හරි කුඩේ අස්සට රිංගගෙන යන්න තිබ්බා. දැන් ඉතිං නාගෙනම යංකො ගෙදර. අද නම් මහ ජරා දවසක්. මොන නැකතකින් ගෙදරින් එළියට බැස්සද මංදා.
මේ කෙල්ලොන්ගෙ මූණ සුදුවට ලස්සනට තිබ්බට හිතේ කිසිම තෙතමනයක් නෑනේ ඇත්තට. කිව්වොත් කිව්වා. මං ඉතිං නෙතූටයි අහසටයි හිතෙන් බැණ බැණ තෙමි තෙමීම බස් හෝල්ට් එකට ආවා. ලකූණු අඩු වුණා කියලා මෙච්චර කටු කන්න ඕනෙ කියලා අද තමයි දැනගත්තෙ. කොහෙද ඉතිං මහ යක්ෂ ටීචර් කෙනෙක්නෙ මට ඉන්නෙ. ඉස්කෝලෙවත් හිටියෙ නෑ එච්චර සැර ටීචර්ස්ලා.
නෙතූ කියන්නෙ ඉතිං මගෙ ෆිට් එක. පොඩි කාලෙ ඉඳලා මගේ වන් ඇන්ඩ් ඔන්ලි බෙස්ට් ෆ්‍රෙන්ඩ්. තරහ ගියාම පොඩ්ඩක් සැර වුණාට හරි හොඳ කෙල්ල. සැර දාන්නෙ නම් ඉතිං මගේම හොඳට. මං වගේ කෙනෙක්ට නම් සැර නොදාත් බෑ. මොකද අර අලියන්ට හිත නලියන්ටමයි වගේ මටත් හිත පිස්සු නටන්නමයි.
ගිය පාර යාන්තමට ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් දෙකක් ගොඩ දාගත්තා. ආයෙ නම් එග්සෑම් එකක් පැත්ත පළාතක යන්නෙ නෑ කියලා හිතාගෙන තමයි මං එදා එග්සෑම් හෝල් එකෙන් එළියට ආවේ. ඒත් කොහෙද අප්පා අර වදකාරිගෙන් බේරුමක් නැති තැන ආයෙ එග්සෑම් කරන්න වුණානෙ. දැන් ඉතිං රිවිෂන් ක්ලාස් නැති දවසට නෙතූගෙ ක්ලාස්. අමාරු පාඩම් කියලා දෙනවා. අද මේ ඩෝං ගිහින් තියෙන්නෙ ක්ලාස් එකේ ටෙස්ට් එකෙන් ලකුණු අඩු වුණා කියලා. ඊළග එකවත් හොඳට පාඩම් කරන්න ඕනෙ. නැත්තම් මට බේරුමක් නෑ. තරහ වුණාමත් මට පාළුයි. වදකාරි කිව්වට නෙතූ කියන්නෙ මට ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක් තමයි.
කව්රු හරි නෙතූ ගැන මගෙන් ඇහුවොත් මං කියන්නෙ ඔන්න ඔහොම. ඒ වුණාට ඒ පිස්සි ගැන මගේ හිතේ තියෙන හැගීම දන්නෙ නම් මං ම විතරයි. එයා මට එයාගෙ අතිජාත මිත්‍රයා විදිහට සළකද්දි මට ඉතිං මගේ හිතේ තියෙන බහුභූත එයාට කියන්න බෑනේ. ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා කියලා මං මගේ සීමාවෙ ඉන්නවා. වෙන මොනා කරන්නද ඉතිං. මේ ප්‍රේම කතා කියන්න ගිහින් එයාව තරහා කර ගන්නත් බෑනෙ. එයා කිව්වොත් එහෙම සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා කියලා. ඒ නිසා මිතුදම හොඳයි අහිමි වෙනවට වඩා කියලා එයා ඉස්සරහා පරණ පුරුදු දඩබ්බර යාලුවාගෙ කැරැක්ටර් එකම ඇක්ට් කරනවා. යාලුවෙක් වගේ හරි ලඟ ඉන්න එකත් කොච්චර දෙයක් ද.
කාලෙත් හරියට පාන්දරට දුර දුවන බස් එකක් වගේ. පිඹගෙන යනවා ආයෙ ඇහි පිය ගහන වේගෙට. නෙතූ කොළඹ කැම්පස් එකට ගිහින් අවුරුද්දකට පස්සෙ මං පේරාදෙණියෙ කැම්පස් එකට ආවා. නෑ නෑ කැන්ටින් එකට නෙමෙයි. ඉගෙන ගන්න ආවෙ. මං එහෙම ආවා කිව්වමත් පුදුමයි නේද. අහන්නත් දෙයක්යෑ ඒක හිතද්දි මටත් පුදුමයි. අර මගේ කොච්චි මිරිස් ටීචර්ගෙ මහන්සිය තමයි. එයා නැත්තං ඉතිං ඇත්තටම මට කැම්පස් එන්න වෙන්නෙ කැන්ටින් එකේ ආප්ප බාස් විදිහට.
මෙහෙ නම් හැමතැනම යාළුවො. ඒත් නෙතූ තරමට කව්රුත් මට සෙට් වුණේ නෑ. ඒ විදිහට හොයලා බලන යාළුවෙක් මට කවදාවත් ආයෙ හම්බවෙන එකක් නෑ. එයා කොළඹ ගියාට පස්සෙ එයා නැති අඩුව මාර විදිහට දැනෙන්න ගත්තා. මං ඉතිං අර පෝය දවසට හඳ පායනකම් බලන ඉන්න නරියෙක් වගෙ තමයි එයා නිවාඩු එනකම් බලන් ඉන්නෙ. ඒක නම් හරි කැත උපමාවක් නේද. මටත් පිස්සු.
දැන් මං මේ බස් හෝල්ට් එකට වෙලා ඉන්නෙ නෙතූ එනකම්. ඒ මූණ දකිනකම් මට ඉවසිල්ලක් නෑ. දැන්නම් මගේ හිතේ තියෙන දේ එයාට කියන්නම ඕනෙ කියන තීරණේට මං ඇවිත් ඉන්නෙ. නැතුව බෑනෙ හැමදාම මෙහෙම විඳවන්න.
එකපාරටම මූණ ඉස්සරහා බස් එකක් බ්රේක් කරේ මනෝ ලෝකෙක හිටිය මං උඩ ගිහින් බිම වැටෙද්දි. මෙහෙමත් බ්රේක් ගහනවද අප්පා. තව ටිකෙන් මගෙ නහයත් ගැලවිලා බස් එකේ රැඳෙනවා.
"නෙතූ.."
බස් එකෙන් එළියට එබිච්ච නෙතූගෙ මූණ දැකලා මට උඩ පැනලා නටන්න තරම් සතුටක් ආවෙ. ඒත් ඒක තිබුණෙ එක මොහොතයි. ඒ ඇඟිලි වෙන අතක පැටළිලා තිබුණා. ඒ සංජය. නෙතූගෙ ආදරේ දිනා ගත්ත වාසනාවන්තයා. මට නොලැබිලා ගිය වාසනාව තව කෙනෙක් ලබනකොට මං ඉරිසියා කරේ නෑ. මං සුබ පැතුවා. මගෙ හදවතින්ම.
වෙනදා වගේම අදත් බැහැගෙන යන ඉර නුවර වැවේ ගිලිලා යනකම්ම මං බලාගෙන හිටියා. ඉස්සර මට එහා පැත්තෙ ඉඳන් මොනා හරි හප හප කියව කියවා ඉන්න නෙතූ මං ලඟ නෑ. වළාකුළු බැම්ම ලඟ මං අද තනියම. කෙස් ගස් එක දෙක ඉඳීගෙන එනකොට දැන් හැමෝම අහන්නෙ "නැද්ද තාම මොකුත් කියලා. " මොකුත් නැතුව නෙමෙයි. දාහක් දෙනා මුණ ගැහුණත් මතක් ඇති කාලෙක ඉඳන් මගේ හිතට කාවැදිච්ච ඒ ඇස් දෙකේ කාන්තිය තාමත් මගේ හිතෙන් මැකිලා ගිහින් නෑ. ඉතිං කොහොමද මං වෙන කෙනෙක් ගැන හිතන්නෙ..?
එක පාරටම ඇගට සීතලක් දැනෙද්දි මට උඩ බැලුණෙ පුරුද්දට වගේ. හිතුවෙවත් නැති වෙලාවක අහසම කළු කරගෙන මහ වැස්සක් බිමට කඩන් වැටෙනවා. කමක් නෑ වහින එක හොඳයි. එතකොට මගේ කදුළු කාටවත් පේන් නැති වෙයිනෙ. ඇස් වලින් ගලන කඳුළු වැහි බින්දු වලටම හෙදෙන්න ඉඩ දීලා මහ වැස්සෙම මං බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ගියෙ ඉස්සර මතක ආයෙමත් අවුස්සගන්න හෙටත් වැව රවුමට එන බලාපොරොත්තුව හදවතේ ඉතුරු කරගෙන.
***************************************************************************************************************************************************************************
නුඹේ ලෙන්ගතු කමට
හිතෙන් මා පෙම් කල තරම්
නොකිව්වට මම
කියයි නුඹ හට
වැවරවුමේ රොබරෝසියන්..
ගිහින් අහපන් අහසින් සෙංකඩ
ප්‍රේමයේ පරිමාව දැන්
හෙලන වැහි කැට ගනිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං..
රෑට තනියම නින්ද නැතුවම
ඉන්න මට හිතෙනා තරම්
යන්න උනහම
ඉන්නේ කොහොමද
නුඹට වැඩියෙන් හැඬුවා මං..
අඳුරලාගෙන වහිනකොට වැහි
හිත් නිවට පාළුව අරන්
රැගෙන උණුහුම වරෙන් හනිකට
උඩුරාවණ මොන දුරද බං..
නුවර අහසට නාඩා ඉන්නට
කියන් මල් පෙති පිපෙනකන්
පිපුන රොබරෝසියන් මල් යට
නුඹ නැතත් හෙට යනවා මං..
වසාගෙන නෙතු
හෙමින් ගිලිහුනු
හුස්ම අග මතකය තියන්
පාලු සුසුමක සුවඳ අදටත්
හොයනවා සත්තකයි මං..
(ගීතය උපුටා ගැනීමකි.)
Short Story by Pramodi Peramuna 💜️
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න.
5 comments:
Pduma lssnak
Thank you ❤️
Duwe mage wayasa dan 49. oyage keti katha kiyawanakota mama awu 19 ta yanawa mage atheethayata.ada mage puthalae amma ayama thamai.minisunge hith niwanna sindu, katha poth walatat puluwan.Budusaranai Duwe. suba anagathayak obata. Mahesh Mama.
Thank you 😊
Wow... Harima lassanayi...❤
Post a Comment