හිතට දුකයි පොඩි පුතු හට - Sinhala short story
"අම්මේ මං මේ පාරත් පන්තියෙ පළවෙනියා.."
ප්‍රගති වාර්තා පොතද අතින් ගෙන සඳුන් පාසලේ සිට නිවස කරා දිව ආවේ එක පිම්මේය.
සෙනෙහෙලතා සිටියේ කටුමැටියෙන් වට වූ කුඩා කුස්සි කෑල්ල තුල වූ බංකුවට බරවී දවල් බතට කිරි හොද්දක් හැඳි ගාමිනි. ඇය එකවරම නැඟිට එබිකම් කර බැලුවේ සඳුන් ගේ හඬ කණ වැකුණු නිසයි.
එක පිම්මේ දිව විත් සෙනෙහෙලතාගේ බඳ වටා දෙඅත් යවා තුරුළු වුණු ඔහු ප්‍රගති වාර්තාව ඈ වෙත පෑවේය. සඳුන් මෙවර වාර විභාගයේ ඉහළින්ම ලකුණු ගෙන පන්තියේ පළවෙනියා වී ඇති බවත් ඔහුව ඉතා සතුටින් 5 ශ්‍රේණිය සඳහා සමත් කරන බවත් එහි සඳහන්ව තිබුණි. සෙනෙහෙලතාගේ ඇස් වලට කඳුළු ඉනුවේ තම පුතු කෙරෙහි උපන් ආඩම්බරයෙනි. ඒවා දුක් කදුළු නොව සතුටු කදුළුය. මගේ කොල්ලා දක්ෂයා ඇය සිතුවේ ඇසට නැඟුණු කදුළු පිසලාගන්නා අතරතුරයි.
"අම්මේ ලොකු ඉස්කෝලෙ මහත්තයා කිව්වා මේ වගේම ලකුණු අරගෙන ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් ඉහළින්ම පාස් වුණොත් මට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් කියලා.."
සඳුන් පැවසුවේ සෙනෙහෙලතාට තව තවත් තුරුළු වෙමිනි.
"කො..කොළඹ ඉස්කෝලෙකට.."
සෙනෙහෙලතා ඇසුවේ විමතියෙනි.
"ඔව් අම්මේ. ලොකු ඉස්කෝලෙ මහත්තයා කිව්වා කොළඹ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ලොකු ඉස්කෝලෙ මහත්තයාටත් වඩා ලොකු මහත්තයෙක් වෙන්න පුළුවන් කියලා. තව මට කාර් එකකුත් ගන්න පුළුවන් කිව්වා. සයිමන් මුදලාලිගෙ කාරෙකටත් වඩා හොඳ එකක්ලු. එතකොට මං කිව්වා මං ඒ කාර් එකේ අම්මවත් දාගෙන මුළු ගමේම රවුමක් එක්කන් යනවා කියලා.."
සඳුන් පවසන්නේ බලාපොරොත්තුවෙන් දෑස් දල්වා ගෙනය. ඒත් සෙනෙහෙලතාගේ හිතට එක් වූයේ මහත් වූ බරකි. ඇය මඳක් කල්පනාවට වැටුණි. පුතු සිටින්නේ බොහෝ ප්‍රීතියෙනි. ඔහුගේ බලාපොරොත්තු සඵල කර දීමට ඇයට ශක්තියක් නොමැති වේ යැයි ඇයට බියක් දැනුණි.
පලංචියකින් වැටී සඳුන්ගේ පියා මිය ගියේ ඔහු කුඩා කලදීමය. එදින සිට ඇය ඔහු රැක බලා ගත්තේද බොහෝ දුක් කම්කටොලු රාශියක් මැදය. කඩයප්පන් රස්සාවෙන් සහ කුඩාවට පවත්වාගෙන ගිය එළවළු කොරටුවෙන් ලද සුළු මුදල ඔවුන්ට බඩ වියත රැක ගෙන ජීවත් වන්නට ප්‍රමාණවත් වුවද සඳුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඇය දැන සිටියා ය. එහෙත් ඇයට තම පුතුගේ සිහින බොඳ කර දැමීමට නොහැකිය. කුමක් කරන්නේදැයි ඇය තනිව සිතුවාය.
රෑ එළිවන තුරුත් ඇයට හරිහැටි නින්දක් නොවීය. සඳුන් නම් හොදටම නින්දට වැටී තිබුණි. ඔහු අද දවසම ගත කළේ ඉතා ප්‍රීතියෙනි. සයිමන් මුදලාලිගේ කාරයට වඩා ලොකු කාරයක් ගන්නා බව ඔහු දවසම කියවූවේය. ඇය තම පුතු දෙස බලා කල්පනා කළාය. ඔහු හීනෙන් සිනාසෙන බවක් පෙනුණි. ඇයට දැනුණෙ තම පුතු කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකි. ඇයට මෙම සිනාව වියැකෙන්නට දෙන්නට බැරිය. කෙසේ හෝ තම පුතුට හොඳින් උගන්වා ඔහුව ඉහළ තැනකට ගෙන යන බව ඇය දැඩිව සිතා ගත්තාය. අවසානයේ රෑ පුරා බොහෝ කල්පනා කිරීමෙන් අනතුරුව ඇය දැඩි තීරණයක් ගත්තාය.
ඇය පසුදා උදෑසනින්ම නිවසින් පිටවුනේ මැගිලිං අක්කා සොයාය. ගමේ කාට හෝ යම් මිල මුදල් ගැටලුවක් පැනනැඟි විට අතමාරුවක් කර ගැනීමට දිව යන්නේ මැගිලිං අක්කා වෙතය.සෙනෙහෙලතා ඇය වෙත ගොස් තම සිතේ ඇති අදහස ගැන කියන්නට විය.
"එතකොට දැන් උඹ කියන්නෙ උඹ මේ පොඩි කොල්ලව තනියෙන් දාලා රට යන්ට තීරණේ කරා.."
මැගිලිං ඇසුවේ බැරෑරුම් සහිත මුහුණකිනි.
"මං වෙන මොනවා කරන්ටද අක්කේ. අපෙ අම්මටවත් එන්ට කියනවා කොල්ලගෙ තනියට. තාත්තත් නැතුව මං කොල්ලව උස් මහත් කරේ. අපේ ගේ කෑල්ල නම් එච්චර වටින එකක් නෑ. ඒ වුණාට හේන් කෑල්ලයි ගේ ඉඩං කෑල්ලයි එකතු වුණාම හොඳ වටිනා කමක් තියෙයි අක්කෙ. ඒ දෙකම හරි අරං කමක් නෑ මට උදව් කරන්ට අක්කෙ."
"මං ඒක නොදන්නවයැයි බං. උඹ හිත හොඳ ගෑණි. ඒ වුණාට බං උඹට පුළුවන්ද ඔය දේස දීපාංකර වල ගිහින් ඔය හැටි නැහෙන්ට."
"කොල්ලා වෙනුවෙන් කරන්ට බැරි දෙයක් නෑ අක්කෙ මට. මට පුළුවන් උදව්වක් කරන්ට. අක්කට පින් සිද්ද වෙනවා."
සෙනෙහෙලතා පවසන්නේ බැගෑපත්ව ය.
"හරි එහෙමනම් මං ටවුමෙ ඒජන්සියෙ මහත්තයා එක්කත් කතා කොරලම උඹට පණිවිඩේ කියන්නම්කො. කොහෙ හියත් කමක් නෑ සෙනෙහෙලතෝ පරිස්සම් වෙයන්."
මැංගිලිං අක්කා අවසන් පොරොන්දුව දුන්නාය. සෙනෙහෙලතා නිවසට ආවේ හිතේ බර යම් තාක් දුරකට සැහැල්ලු කරගෙනය. යන්නට සැරසෙන්නේ නොදන්නා දේස දීපංකරයකට වුවද ඇයට බයක් නොදැනුණි. ඇය මෙසේ යන්නේ තම පුතු වෙනුවෙනි.
දින දෙකකට පසු මැගිලිං අක්කාගෙන් ලැබුණේ සුභවාදී පිළිතුරකි. දැන් මෙය සඳුන්ට කිව යුතුය. ඒ කෙසේදැයි සෙනෙහෙලතා කල්පනා කළාය.
එදින සවස සඳුන් සිටියේ පේර ගස යට බංකුවට වී කවි පාඩම් කරමිනි. සෙනෙහෙලතා ඔහු වෙත ගියේ ඒ අතරතුරයි. සඳුන්ගේ හිස අතගා ගෙනම බංකුවේ අනෙක් පසට බරවුණු සෙනෙහෙලතා කතාව ඇරඹීය.
"මගෙ පුතා කැමතියි නේද කොළඹ ඉස්කෝලෙ ගිහින් ලොකු මහත්තයෙක් වෙලා ලොකූ කාරෙකකින් ගමට එන්න.."
සෙනෙහෙලතා අසන්නේ ඔහුගේ හිස පිරිමිදිමිනි.
"ඔව් මං ගොඩාක් ආසයි.."
ඔහු සෙනෙහෙලතාට තුරුළු වෙමින් කීවේය.
"ඉතිං පුතේ එහෙම කරන්න නම් අම්මට පුතාව දාලා ටිකක් දුරකට යන්න වෙනවා.."
"දුරකට.."
ඇස් ලොකු කරගෙන සඳුන් අසන්නේ විමතියෙනි.
"ඔව් මගෙ පුතේ. අම්මා ගිහිල්ලා රස්සාවක් කරලා පුතාට ඉගෙන ගන්න සල්ලි එවනවා.එතකොට මගෙ පුතාට පුළුවන් ඉහළටම ඉගෙන ගන්න. ලොකූ මහත්තයෙක් වෙන්න. තේරුණාද මගෙ පුතාට. පුතාව බලාගන්න ආච්චි අම්මයි පුංචියි දෙන්නම එයි. පුතාට එතකොට තනියකුත් නෑ. පුතා කැමතියි නේද පුංචි එක්ක සෙල්ලම් කරන්න.."
"කැමතියි. ඒත් අම්මා නැත්තම් මට ඉන්න බෑ. ඉතිං අම්මෙ අපිට මේ සල්ලි තියෙන්නෙ. ඒවයින් නෙ මං දැනුත් ඉගෙන ගන්නෙ. ඇයි අම්මා දුර යන්නෙ. අම්මා කොහෙවත් යන්න එපා. මට පාළුයි.."
සඳුන් පවසන්නේ හැඬුම් බරවය.
"මගෙ රත්තරං පුතාට තේරෙන් නෑ. කොළඹ ඉස්කෝල වලට යනවා නම් මීට වඩා ගොඩාක් සල්ලි ඕනෙ මගෙ පුතේ. පුතා බලන්නකො මං ගිහිල්ලා පුතාට සෙල්ලම් බඩු ගොඩාක් එවන්නම්. එතකොට මේ ලී කරත්ත එහෙම ඕනෙ නෑ. පුතාට ලස්සන සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්. හොඳට ඉගෙන ගන්නත් පුළුවන් ඊට පස්සෙ ලොකූ මහත්තයෙක් වෙන්නත් පුළුවන්. අර ලොකු කරෙකත් අරගෙන අම්මව දාගෙන රවුමක් යන්න මගෙ පුතා එනවා නේද.."
සෙනෙහෙලතා පවසන්නේ දෑසට නැඟුණු කඳුළු පුතුගෙන් වසන් කරන්නට උත්සාහ දරමිනි.
"නෑ මට මොකුත් ඕන් නෑ. සෙල්ලම් බඩු ඕනෙත් නෑ. කොළඹ ඉස්කෝලෙ යන්න ඕනෙත් නෑ ලොකු මහත්තයෙක් වෙන්න ඕනෙත් නෑ. අම්මා යනනෙ ඒ නිසා නම් මට ඒ මොකුත් එපා.."
වේගයෙන් කියූ සඳුන් නැඟිට ගෙය තුලට දිව ගියේය.
දින ගණනක් ගියත් සඳුන්ගේ හිත හැදීමට සෙනෙහෙලතාට නොහැකි විය. ඔහු නිතර අසනීප විය. උණ විකාරයෙන් දොඩවන්නට විය. පාසල් වැඩ හිතා මතාම අතපසු කළේය. පාසල් ගියේද කඩින් කඩය. පාසලේදීද පාඩම් වැඩ වලට හිත නොයොදවා හැමවිටම බලාගත් වනම බලා සිටියේය. මෙයින් සෙනෙහෙලතා පත් වුණේ සිටියාටත් වැඩි අසරණ තත්වයකටය. ඇයට කුමක් කරනේදැයි සිතා ගත නොහැකි විය.
මේ සියලු විස්තර දැන අසා ගත් සඳුන්ගේ පාසලේ විදුහල්පති තුමා සහ ඔහුගේ පන්ති භාර ගුරුතුමිය සෙනෙහෙලතා සොයා ආවේ ඒ අතරතුරය.
"සඳුන්ලගෙ අම්මෙ. අපි ආවෙ වැදගත් කාරණයක් කතා කරගන්න."
විදුහල්පති තුමා කීවේ පිල් කණ්ඩිය උඩින් වාඩි වෙමිනි. ආගන්තුකයෙක්ට දෙන්නටවත් හරි හමන් පුටුවක්වත් ගේ තුල නොතිබීම පිළිබඳව සෙනෙහෙලතාට දැනුණේ මහත් වූ මදි පුංචි කමකි. ඒත් විදුහල්පති තුමානම් එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නැත. ඔහු කතාව ඇරඹුවේය.
"සඳුන්ලගෙ අම්මේ, දරුවා හොඳටම මානසිකව වැටිලයි ඉන්නෙ. මේ දරුවා හුඟක් දක්ෂ දරුවෙක්. කවද හරි දවසක ලොකු තැනකට එයි. අපි මේ වගේ දරුවො රැක ගන්න ඕනෙ. දරුවා ඉපදුණු දවසෙ ඉඳන් ලඟ හිටපු අම්මා තමන්ගෙන් ඈත් වෙන එක පොඩි දරුවෙකුට දරා ගන්න අමාරුයි. දැන් මේ අම්මා රට යන්න හදන්නෙ දරුවට උගන්නන්න නම් අම්මා යන්න එපා. අපේ පාසල් සුබසාධක සමිතියෙන් තීරණේ කරා සඳුන්ගේ ඉදිරි අධ්‍යාපනයට උදව් කරන්න. මේක අපි හැමෝම එකතු වෙලා ගත්ත තීරණයක්. සාගර ඇමති තුමත් සඳුන් වෙනුවෙන් ධන පරිත්‍යාගයක් කරන්න කැමති වුණා. සඳුන් හරිම වාසනාවන්ත දරුවෙක්. ඒ නිසා මේ අම්මා බය වෙන්න ඕනෙ නෑ.."
සෙනෙහෙලතාට දැනුණු සතුට නිම්හිම් නැති විය. ඈ හැඬුවේ සතුටට ය. ඇය විදුහල්පති තුමාට අනේකවාරයක් පින් දුන්නාය. සතුට වැඩි කමට ඇයට වචන පවා අමතකව ගොස් ය.
"අම්මේ සඳුන් තාම ඉස්කෝලෙ. අම්මා යමු අපි එක්ක. ගිහින් එයාට කියන්න අම්මා කොහෙවත් යන්නෙ නෑ කියලා. එතකොට මේ හැම හිත් වේදනාවක්ම ඒ දරුවට අමතක වෙලා යයි.."
සඳුන්ගේ පන්ති භාර ගුරුතුමිය කීවේ සෙනෙහෙලතා සනසවමිනි.
සෙනෙහෙලතා පාසල වෙත දිව ගියේ නොඉවසිල්ලෙනි. සඳුන් සිටියේ පිට්ටනිය ලඟ තිබූ වෙරළු ගසය හේත්තු වීගෙනය. ඔහු සෙල්ලම් කරන ළමුන් දෙස ඔහේ බලා සිටියේ ඔහුට සෙල්ලමට හිතක් නොතිබුණු නිසයි. ඈතින් දිව එන සෙනෙහෙලතාව ඔහු දුටුවේ එවිටයි.
"අම්මා.."
ඔහු සෙනෙහෙලතා ආ මඟට දිව ගියේය.
"මගෙ පුතේ.."
සෙනෙහෙලතා දුව විත් ඔහු වෙතට නැඹුරු වූයේ උතුරා ගලා ගිය සතුටකිනි.
"මං කොහෙවත් යන්නෙ නෑ පුතේ.. උඹ ආයෙමත් ඉස්සර හිටියා වගේ වෙයන්. මට එච්චරයි ඕනෙ.."
සෙනෙහෙලතා කෑ ගසා පැවසුවේ සඳුන්ව වැළදගනිමිනි.
"ඒ කියන්නෙ අම්මා මාව දාලා යන්නෙ නැද්ද..?"
සඳුන් ඇසුවේ සතුටෙන් උඩ පනිමිනි.
"නෑ මගෙ රත්තරං පුතේ. මං උඹව දාලා කොහෙවත් යන්නෙ නෑ.."
දොරෙ ගලන දරු සෙනෙහසින් ඇය පැවසුවේ තම පුතුව තව තවත් තදින් වැළදගනිමිනි.
*********************************************************************************************************************************************************************
අම්මේ යන්න එපා දුරු රටකට
කවුරුත් නෑ මගෙ තනියට
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට..
පාටින් පාටට කොළ අලවා උඩ
යවන සරුංගල් හරි හැඩනේ
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා
හදන කරත්තය මට අගනේ..
ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක
අනලා කැව්වත් හරි රසනේ
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ
විසිතුරු ලෝකෙට වැඩි සැපනේ..
(ගීතය උපුටා ගැනීමකි.)
Short Story by Pramodi Peramuna 💜️
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න
No comments:
Post a Comment