ඉර හැරෙන වෙලාවට - Sinhala short story
නින්ද අහලකටවත් නොඑන තවත් රැයක් ගතවෙමින් තිබුණි. පෙර පුරුදු පරිදිම පැරණි මතකවල පැටලෙමින් හිත බොහෝ දුර ගොසිනි. මටත් නොදැනිම ඇඟිලි තුඩු අතරට සිරවන ජංගම දුරකථනය තුළට එබෙන දෑස සේයා රූ අතර සැඟවුණු ඒ රැවම සොයමින් දුරකථන තිරය පුරා දිව යන්නේ පුරුද්දට මෙනි. අමතන්නට දස දහස්වර සිතුණද ඇමතුමක් නොගන්නා එකම අංකය මා නැවත මෙනෙහි කළෙමි. කාලයක් පුරා මකා නොදමා පරිස්සම් කළ එකම නමකට අයත් වූ කෙටි පණිවුඩ ගොන්න තුළ යළිත් ඉහළට පහළට ඔහේ දෑස් යැව්වෙමි. වෙන දෙයක් වෙන්නට මේ දැනෙන හැඟීම් කෙටි පණිවිඩයක් ලෙස අකුරු කර යවන්නට ක්ෂණිකව හිතට නැඟුණු සිතුවිල්ල මා මැඩගත්තේ ආයාසයෙනි. මේ එලෙස සිත පාලනය කරගත් කීවෙනි වතාවදැයි මා හටම මතකයක් නැත.
ඔරලෝසුවේ කටු තාලයකට ගමන් කරන හඬ ඇසේ. ඇය දැන් කුමක් කරනවා ඇත්දැයි සිත මගෙන් ප්‍රශ්න කරයි. ඇය සුව සේ නින්දක වන්නට ඇත. එසේත් නැතිනම් පෙර පුරුදු ලෙස මතක පොත ලියනවා වන්නටත් ඇත. මා හට හැක්කේ අනුමාන කිරීමට පමණි. ඇය ගැන දන්නේ ඇයමය.
මා විසින්ම මා සිත සමඟ ගොඩනැඟූ ගිවිසුම මොහොතකට කඩ කරන්නට මා තිරණයකට එළඹුණෙමි. ඒ ඉවසා ඉවසා බැරිම තැනදීය. යළිත් හිත වෙනස් වන්නට ප්‍රථමයෙන් මා හනි හනිකට ජංගම දුරකථනය අතට ගෙන කිසිදා මතකයෙන් ගිලිහී නොගිය එකම අංකයට කෙටි පණිවුඩයක් අකුරු කළේ සැලෙන ඇඟිලි තුඩු වලිනි.
"ඉර හැරෙන වෙලාවට තාම කවි ගොතනවද,
මහ රෑට නිදි නැතිව මතක පොත ලියනවද,
මං දුන්නු වතු සුද්ද ගහේ මල් පිපෙනවද,
අපරාදෙ අපි ආව දුර කියලා හිතෙනවද..?
වරු ගණන් මුමුණන්න කෙනෙක් දැන් ඉන්නවද,
ගව් ගණන් අත් බැඳන් දුර ගමන් යනවාද..,
පැය ගණන් පොඩි දේට තරහ වෙලා ඉන්නවද,
මට කරපු තරමටම ආදරේ කරනවද..?
තවමත් එදා මතක මට වගේ මතකයිද,
නෙතු පියා ගන්නවත් බැරි තරම් කරදරද..,
මට වගේ මට හොරා ඔය ඇසුත් තෙමෙනවද,
කුඩුවී යනදාට නොකියා යන් නෑ නේද..? "
ඒ මා සැමදා ආදරය කරන ගීයකි. එය අසන හැම විටම දෑස් තෙත් වෙන්නේ ඇයම සිහිවීමෙනි. මෙය ඇය වෙත යවන්නට බොහෝ කාලයක් මා වෙර දැරුවෙමි. නමුත් ඉන් මා වැළක් වූයේ ද දැඩි කරගන්නට වෙර දරණ මගේම හදවතයි. පණිවුඩය අකුරු කළ සැණින්ම මා එය ඇය වෙත ලැබෙන්නට සැළැස්වූයේ හදවතට යළිත් එයට බාධා කරන්නට ඉඩක් නොතබමිනි.
මා පෙරළා ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු වූවාදැයි මා නොදනිමි. එහෙත් මා දුරකථනය දෙසම නෙත් යොමාගෙන සිටියෙමි. සැලෙන හදවතින් යුතුව ගෙවී ගියේ විනාඩි කිහිපයක් වන්නට ඇත. පෙර පුරුදු අංකයෙන් දුරකතන තීරයේ කෙටි පණිවුඩයක් සටහන් වුණේ හදවතේ ගැස්ම දෙගුණ තෙගුණ කරමිනි. මා එය විවෘත කළේ හදවතින් සැළෙමිනි.
"ඉර හැරෙන වෙලාවට කවි ගෙතුවෙ නුඹ ගැනය
නුඹෙ මතක නොමැති අද මතක පොත කුමකටද..?
වතුසුද්ද මල් අතර මැවෙන්නේ නුඹෙ රුවය
අපි ආව දුර කොහොම අපරාදෙ හිතන්නද..?
වරු ගණන් මුමුණන්න හිටියෙ නුඹ විතරමය
දුර යන්න නුඹ නැතුව වෙන කෙනෙක් මට කුමට..?
තරහ වෙලා ඉන්නවත් නුඹ නෑනෙ මං ගාව
එදා කළ තරමටම ආදරෙයි මම තවම..
මතක පොත පුරාවට සුවඳ දෙන නුඹෙ මතක
අමතකව යාවි මගෙ හුස්ම නවතින දිනක..
හඬන කරදර කරන හිත තාම නුඹේ ලඟ
යළිත් හැකි නම් එන්න කූඩුවෙමු සදහටම.."
හිතට දැනුණු සතුට නිම් හිම් නැති විය. දෑසට කඳුළු ඉනුවේ සතුටට ය. එවැනි පණිවුඩයක් බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් ඇය පිළිතුරු එවා තිබුණා යැයි මට සිතුණි. සිත සතුටින් ඉපිල යද්දී මා හනික ඇය හා ආදරණීය සංවාදයකට එළැඹෙන්නට සැරසුණේ දුක් කම්කටොලු මැඩගෙන යළිත් නැවුම් වූ දිවියක් ඇරඹීමේ දැඩි බලාපොරොත්තුවකින් යුතුවය..
Short Story by Pramodi Peramuna 💜️
************************************************************************************************************************************************
(ඉර හැරෙන වෙලාවට මුල් ගීතය උපුටා ගැනීමක් වන අතර පිළිතුරු ගීතය මා විසින් නිර්මාණය කරන ලද්දකි.)
ඉර හැරෙන වෙලාවට ගීතය අහන්න මෙතන click කරන්න.
(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)
තවත් කතා කියවීමට මෙතන click කරන්න.
2 comments:
Nice pramo..♥️
වරු ගණන් මුමුණන්න හිටියෙ නුඹ විතරමය
දුර යන්න නුඹ නැතුව වෙන කෙනෙක් මට කුමට
තරහ වෙලා ඉන්නවත් නුඹ නෑනෙ මං ගාව
එදා කළ තරමටම ආදරෙයි මම තවම
පිළිතුරු ගීතය ගොඩක් ආස හිතුනා...
Post a Comment