Tuesday, 12 May 2020

අපි හමුවුණා ඒ පාරෙම - Sinhala Short Story by Pramodi Peramuna

අපි හමුවුණා ඒ පාරෙම - Sinhala Short Story




අවුරුදු 13ක් එක දිගට පාඩම් වැඩ එක්ක ගෙවිලා ගිහින් ඒ ලෙවලුත් ඉවර වුණේ හිතේ ලොකු බරක් නිදහස් කරලා. 6 වසරෙ ඉඳන් ගෙවපු බෝඩිං ජීවතේට සමු දීලා මං ආයෙත් ගමට ආවා. අම්මගෙයි තාත්තගෙයි වැඩ වලට උදව් කරගෙන ආයෙත් පරණ පුරුදු ජීවිතේට හුරු වෙන්න හැදුවත් ඒක දැන් ලේසි නෑ කියලා තේරුණා. අවුරුදු ගාණක් මඟ ඇරිලා ගියපු දෙමව්පිය උණුසුම දැන් මට දැනුණෙ හරි ආගන්තුක විදිහට. ගමේ ගියාම හිත නිදහස් වෙයි කියලා හිතුනට හිතේ කොණකින් නාගරීකරණය එබිකම් කරන හැටි මට දැනුණේ ගමට ඇවිත් ටික දවසක් ගියාට පස්සෙ. ඒ ලෙවල් ඉවර වෙනකම්ම පොත් විතරක් ජීවිතේ වෙලා තිබ්බ මට හදිස්සියෙම ෆේස්බුක් අකවුන්ට් එකක අවශ්‍යතාවය දැනුණෙ ඒ නිසා වෙන්න ඇති. 

කොහොම හරි පොඩි ෆෝන් කට්ටකුත් හොයාගෙන ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගත්තා කියමුකො. ඊට පස්සෙ තමයි හොඳම හරිය. ටිකෙන් ටික ෆේස්බුක් එකට එබි එබි මට අර දැනුණු අමුතු ආගන්තුක ගතිය නැති කරගන්න මං උත්සාහ කරා කිව්වොත් මං හරි. ටිකෙන් ටික මිතුරු ප්‍රමාණය වැඩි වෙනකොට ඒකත් හරියට අමුතු ලෝකයක් වගේ මට දැනුණා. 

ඔහොම ටික දවසක් යද්දි ටිකක් අමුතු නමක් තියෙන ගෑණු ළමයෙක්ගෙ ප්‍රොෆයිල් එකක් මං අහම්බෙන් වගේ දැක්කා. විදේශික පුංචි ගෑණු ළමයෙක්ගෙ පින්තූරයක් දාලා තිබුණ ඒ ප්‍රොෆයිල් එකේ වැඩි පුරම තිබ්බෙ හුරතල් පින්තූර. ඒ හැම එකක්ම අන්තර්ජාලයෙන් හොයාගත්ත ඒවා. නිකමට මට හිතුණා එයා දාලා තියෙන එයාගෙ විස්තර බලන්න. එතකොටයි දැක්කෙ මේ ගෑණු ළමයා අපේ සහෝදර බාලිකා පාසලේ කෙනෙක් බව. එකම වයස. මගේ දඟකාර හිතට හිතුණෙම රික්වෙස්ට් එකක් දාලා බලන්න.

ටික දවසක් ගත වුණා. එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා මටත් ඒ ගැන අමතක වෙලා යමින් තිබුණෙ. ඔහොම ඉද්දි දවසක් එයා මගෙ මිතුරු ඇරයුම පිළිඅරගෙන තිබුණා. මට ඉතින් හිතුණා පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. දන්නෙ නැද්ද ඉතිං කොලු හිත ගැන. 

ඔහොම කාලෙ ගෙවුණා. මුලදි මුලදි ගණන් උස්සලා ආඩම්බරේට හිටිය කෙල්ලට දැන් මාව නැතුවම බැරි චරිතයක් වෙලා. ඇත්තටම කිව්වොත් මටත් ටිකක් එහෙම තමයි. අපි හරිම හොඳ යාලුවො වුණා. ඒත් ඒ බැඳීම හරියටම තේරුම් යද්දි නම් මං හොඳටෝම පරක්කුයි. මූණට මූණවත් නොදැක ඒ ඇති වුණ බැඳීම හරි අමුතුයි. 

සහෝදර සහෝදරියො නැතුව තනි වෙලා හිටිය එයාට මාව සහෝදරයෙක් වුණා. හොඳම යාලුවෙක් වුණා. කියා ගන්න කෙනෙක් නැතුව හිර කරන් හිටිය ගොඩාක් දේවල් එයා මට කියන්න ගත්තා. මට පුළුවන් විදිහට එයාගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයලා දෙන්න මං උත්සාහ කරා. එයා මාත් එක්ක කතා කරන හැම මොහොතකම එයාව ටිකක් හරි සතුටින් තියන්න මට පුළුවන් වුණා. 

ටික දවසක් ගතවෙද්දි මාත් නොදැනම මං එයාට ආදරේ කරන්න අරගෙන. එයාගෙ අව්‍යාජ හුරතල් කතා බහ ඒකට හේතුවක් වෙන්න ඇති. ඒත් මාව සහෝදරයෙක් කියලා හිතාගෙන ඉන්න එයාට ආදරෙයි කියලා කොහොම කියන්නද. මං හිතාමතාම පසුබැස්සා. එහෙම හැඟීමක්වත් එයාට නොදැනෙන්න මං එයා එක්ක හිටියා. එයා ප්‍රාර්ථනා කරපු සහෝදරයා විදිහටම.

එහෙම ඉද්දි තමයි ඒ ලෙවල් රිසාල්ට්ස් ආවේ. මං දිස්ත්‍රික් රෑන්ක් එකක් එක්ක ඉහළින්ම පාස් වෙලා තිබුණා. ඒක එයාට කිව්ව වෙලේ එයා කොච්චර පුදුම වුණාද කිව්වොත් එදායින් පස්සෙ එයා මට වැඩිය කතා කරන්නත් බය වුණා. එයා හිතුවෙම මං එයාට වඩා ගොඩාක් ඉහල තැනක ඉන්නවා කියලා. එයා මගෙන් ටික ටික ඈත් වෙන්න ගත්තෙ එදා ඉඳන්. මං කැම්පස් ගියා. මගේ වැඩත් එක්ක මටත් එයා ගැන වැඩිය හොයලා බලන්න බැරි වුණා. අපි දෙන්නටත් නොදැනි අපි දෙන්නා පාරවල් දෙකක යන්න පටන්ගත්තා. ඒත් එයා හැම මොහොතකම මගේ හිතේ කොණක ජීවත් වුණා. 

ටික දවසකින් බලනකොට එක පාරටම එයාගෙ ෆේස්බුක් අකවුන්ට් එක අයින් වෙලා තිබුණා. එයාව හොයාගන්න මං ගොඩක් උත්සාහ කරත් ඒ කිසි දේකින් වැඩක් වුණේ නෑ. අන්තිමේදි මගේ හිතේ එයා ගැන තිබ්බ හැඟීම් එයාට නොකියම වලලලා දාන්න මට සිද්ද වුණා.

එදා ඉඳන් හරියටම අවුරුදු දහයකට පස්සෙ අද මම වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්.

"මචං නැකතට වෙලාව ලඟයි. උඹට යන්න කල්පනාවක් නැද්ද. ඔතෙන්ට වෙලා තනියම මූඩ් ගහන් ඉන්නේ.."

"මූඩ් නොඟහ පුළුවන්ද බං.. තනිකඩයෙක් වෙලා ඉන්න තියෙන අන්තිම විනාඩි ගානත් ගෙවිලා යනකොට.."

මං කිව්වෙ ඇහැක් පුංචි කරන ගමන්..

"අනේ මේ මගෙන් මොකුන් අහගන් නැතුව වරෙන් යන්න.."

දෙවෙනි මනමාලයා විදිහට ඇඳලා හිටිය මගේ අති ජාත මිත්‍රයා කිව්වෙ හිනා වෙන ගමන්..

මගේ ජීවිතේ වැදගත්ම මොහොත උදා වෙලා තිබුණා. පොඩි කාලෙ ඉඳන්ම ජීවිතේ දුක් කම්කටොලු ගොඩකට මූණ දීපු පුංචි කෙල්ලෙක් මගේ ආදරණීය බිරිඳ වුණා. 

"එදා ෆ්බී අකවුන්ට් එක අයින් කරලා අතුරුදහන් වුණා වගේ ආයේ කවදාවත් මගේ ජීවිතෙන් යන්න හිතන්නවත් එපා. දැන් ඔයා මගේ.. තේරුණාද..?"

මං එයාට කිව්වෙ එච්චරයි. මොකුත්ම නොකියා එයා ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙ ආදරේ පිරුණු හිනාවකින්. ඒ ඇස්වල තියෙන සතුට මං පැහැදිලිවම දැක්කා. මගේ ජීවිතේ කළඹපු අදිසි යුවතිය අද ඉඳන් සදහටම මගේමයි කියලා දැනෙද්දි මට දැනුණු සතුට වචනවලින් විස්තර කරන්න අමාරුයි.

පසුව ලියමි..,

ජීවිතේ සමහර හිමි වීම් හරි පුදුම සහගතය. අහම්බෙන් හඳුනාගත් යුවතිය, ඇසට ඇස මුණ නොගැසුණද අහඹු ලෙස හිතේ ආදරය සොරා ගත් යුවතිය, සදහටම අහිමි වූවායැයි සිතා සිටි යුවතිය හදිසියේ මට යළිත් මුණගැසුණේද අහඹුවෙනි. කිසිදිනෙක නොකියූවද මා ඇයට පෙම් කළා සේම ඇයද මට පෙම් කර ඇති බව මා දැනගත්තේ එවිටය. අපට අප යළි මුණ නොගැසුණා නම් ඒ ආදරය දෙතැනක මියැදී සදහටම වැලලී යනු ඇත. ජීවිතයේ ඉරණම යනු එයම නොවේද.. හිමි වීමට ඇති අයෙක් වේනම් නිසැකවම හිමි වන්නා සේම අහිමි වීමට අයෙක් ඇත්නම් අහිමි වීම වැළැක්වීමටද කිසිවිටෙක කිසිවෙකුට නොහැකි වනු ඇත.

*********************************************************************************************************************************************************************

"හිතුවෙවත් නැති දවසක
හිතන් නැතුවම ලං වුණා
අතීතය දුර ඈතක ආදරේ මඟ වැරදුණා..
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම..❤️"

(ගීතය උපුටා ගැනීමකි.)


Short story by Pramodi Peramuna 💜




(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

තවත් කතා කියවීමට මෙතන click කරන්න.

පියාසරන සිතුවිලි - Flying Thoughts






4 comments:

Unknown said...

❤❤❤

Pramodi Peramuna said...

Thank you ❤️

Anonymous said...

������superb dr...

Pramodi Peramuna said...

Thank you darling ❤️