Sunday, 31 January 2021

දිනා දෙන්නම් නුඹේ පැතුමන් - Sinhala short story by Pramodi Peramuna

දිනා දෙන්නම් නුඹේ පැතුමන් - Sinhala short story 



අන් සියලු දෑ මෙන් නින්දත් මා හැර දමා පලා ගොස් ය.හුරුපුරුදු හුදෙකලාව අවනඩුවක් ලෙස මා නොදකින්නේ දිවිය පුරාවට සෙවණැල්ලක් මෙන් ලඟින් සිටින එකම දෙය එයම වන නිසාවෙනි.. හෙට එළැඹෙන්නේ අලුත් දිනයකි. එහෙත් මට අලුත් බලාපොරොත්තු නැත. සෑම දිනයක් මෙන්ම හෙට දිනයද ඔහේ ගෙවී යනු ඇත. ඉතින් ඒ ගැන සිතා මගේ සිත වෙහෙස කරගන්නේ කුමකටද..?


මාගේ මුහුණට මුහුණලා බිත්තියේ එල්ලී තිබෙන සේයාරුවේ වූ මාගේම සිනහව මා හට සරදම් කරන්නාක් මෙන් මට හැඟේ. බරට අතෙහි දරා සිටින කුසලානයෙත් ගෙලෙහි රන්ඳාගෙන සිටින පදක්කම් ගොන්නෙහිත් අභිමානය ඒ මුහුණෙන් මනාව පිළිබිඹු වේ. මෙතරම් අන්ධකාරයක වුවත් තියුණු ලෙස කැපී පෙනුණු ඒ අභිමානය මුසු වූ ගාම්භීර සිනහව මාගේ හදවත සියුම් ලෙස වේදනාවෙන් සිඳුරු කරමින් සිටී.


එදා මෙදා තුර මා අත, ගෙල දැවටුණ සම්මාන පදක්කම් සියල්ල යළිත් කිසිදිනෙක පිටතට නොඑන්නට කබඩයක සිරකර දැමුවේ මගේ ජීවිතයේ තිබූ ලොකුම බලාපොරොත්තුව සදහටම සිහිනයක් වූ වේදනාව යළි යළිත් සිහිවීම මඳකට හෝ නවතාගැනීමේ පර්මාර්ථයෙනි. එහෙත් එය නිශ්ඵල ක්‍රියාවකි. සියලු මතකයන් එකට පොදි ගැහුනු මතක ගබඩාව මගේ හිතය. අන් සියලු දෑ මෙන් ඒ හිත කබඩයක සිරකර දොරගුළු ලා හැකිද..?


මා හෙමින් ඇඳ සමීපයෙහි වූ මේස ලාම්පුව දල්වා ගතිමි. තාත්තා මා හට නිතර අවැසි වූ සියල්ලම මාගේ අත පොවන මානයේම සවිකර දුන්නේ මාගේ පහසුව තකාය. එහෙත් කිරිල්ලියක සේ යළිත් එක වතාවක් හෝ ක්‍රීඩා පිටියේ වටයක් දිව ආ හැකි නම්.. හදවතින් නැඟී එන්නේ සුසුමකි. 


ඔලිම්පික් වරම් හිමි කරගත් කෙටි දුර ධාවන ශූරී "පසන් රණසිංහ"..


දෙදිනකට පෙර අම්මා ගෙන ආ සති අග පුවත්පතෙහි එසේ සඳහන් වී තිබුණේ මේ වන විට ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිත පසන් රණසිංහ නම් වූ අසහාය ක්‍රීඩකයාගේ අභිමානවත් සේයාරුවක්ද සමඟිනි. කෙසේ වෙතත් අම්මා එය නොදුටු බව නම් මට සහතිකය.දුටුවා නම් කෙදිනකවත් ඇය එය මා ඇස ගැටෙන්නට තබන්නේ නැත. ජීවිතයේ කිසිදු දිනක ඒ රුව යළි ඇස නොගැටුනද හදවත පුරාවටම තවමත් ලැඟුම් ගෙන සිටින ඒ ආඩම්බරකාර ඇස් මා මිය යන තුරාවට ඉවත ලෑ නොහැකි බව නම් මා දනිමි. 


අවසාන වරට ඒ දෑස් සජීවීව දුටු දිනය මා සිහි කළෙමි. මා හට සියළු දෑ අහිමි කළ ඒ දිනය මා කෙලෙස අමතක කරන්නද..? 


එදිනද සුපුරුදු ලෙස අප දෙදෙනා ක්‍රීඩා පුහුණුවට ගියේ එකටය. 


"ඊයෙ ඔයා ගැන ආර්ටික්ල්ස් ගොඩක් ගිහිල්ලා බබී. ඔයා දැක්කද?.. මේ බලන්නකෝ.."


ඔහු පැවසුවේ ඔහුගේ ජංගම දුරකථනය මවෙතට දෙමිනි. 


"ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව.."


එසේ පලවී තිබුණේ දෙදිනකට පෙර පැවැති තරඟය මා නිමා කරද්දී ලබා ගත් ඡායාරූපයක් ද සමඟිනි. 


ඔව් මං ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරනවා. ඒ වන විටත් මා සිත තුල තිබූ එකම අධිෂ්ඨානය එයම පමණකි. 


"ඇයි මං විතරක්. මං ඔලිම්පික් යන්නෙ ඔයත් එක්කම.."


මා ඔහු දෙසට හැරී කීවේ සතුටිනි. ඔහුගේද එකම අධිෂ්ඨානය එය බව මා දැන සිටියෙමි.


"ඔව් අපි දෙන්නට එකතු වෙලා ඒ දේ කරන්න පුළුවන්.."


ඔහු පැවසුවේ මගේ උරහිස වටා අතක් යවා මා ඔහු වෙතට ඇඳ ගනිමිනි. මේ දැනුත් ඒ උණුසුම මා ගත විනිවිද යනවා මෙන් මට දැනේ.


එදා අප ක්‍රීඩා පිටිය වෙත ආවේ අනාගතය ගැන බොහොමයක් බලාපොරොත්තු සිත් තුල පුරෝගෙනය. එහෙත් ඒ සියළු දෑ තව මොහොතකින් හීනයක්ම වී යාවියැයි මා හට මොහොතකටවත් නොසිතිනි.


එදා මා පුහුණුවීම් කළේ ඉතා සතුටිනි. පුහුණු වීම් මඳකට නතර කල පසන් ක්‍රීඩාගාරය වෙත දිව ගියේ ඔහුට වතුර බොන්නට අවශ්‍ය බව මට ඉඟියකින් පෙන්වමිනි. ඔහු බෝතලය අතට ගද්දී මාද ඔහු වෙතට දිව ගියේ මා හටද පිපාසයක් දැනෙන්නට වූ නිසාවෙනි. 


එකවරම මා දුටුවේ ක්‍රීඩාගාරයේ ඉහළ තිබූ යකඩ පුවරුවක් සෙලවෙන අන්දමයි. එය අසාමාන්‍ය සෙලවීමකි. මා බැලුවේ පසන් දෙසය. ඔහුට ඉහළින් සෙලවෙන යකඩ පුවරුව නුදුටු ඔහු මා හට සිනාවක් පෑවේය. 


"පසා....න්.."


ගතවන්නට ඇත්තේ තප්පරයකි. කිසිදා නොවූ වේගයකින් ඔහු වෙත පැන ගත් මා ඔහු පසෙකට තල්ලු කර දමනු මට අවසාන වරට මතකය.


හද පතුලකින් නැඟී ආ සුසුමක් පිටව යද්දී මා ඔහුගේ ලිපිය වෙත දෑස් යැවේවෙමි.


"සස්නි ජයවීර ගැන ඔබේ මතකය අවදි කරොත්..?"


මගේ හදවතේ ගැස්ම නැවතත් වැඩි වන්නට වූයේ සිතේ පතුලක හංඟා තබා ගැනීමට වෙර දැරූ දහසකුත් හැඟුමන් කදුළු කැට වී දෑසට උනනු දැනෙද්දීය.


"සස්නි ජයවීර, ඇය තමයි මං මෙතෙක් කාලෙකට දැක්ක හොඳම කෙටි දුර ධාවන ශූරිය.. ඒ වගේම ඇය තමයි මේ ලෝකෙ මං වෙනුවෙන් ලොකුම කැපකිරීම කරපු කෙනා.. ඇය නැත්තම් අද මම මෙතන නැතිවෙන්න තිබුණා.. ඒත් මට බැරි වුණා ඒකට එයා වෙනුවෙන් කිසිදෙයක් කරන්න.. සස්නි මං ඔයාට හැමදාම ණයගැතියි.."


ඔහු මේ කියවන්නෙ මොනවාද.. එදා මා නැවත පියවි සිහියට එන විට මා සිටියේ රෝහල් ඇඳක් මතය. මට වූයේ කුමක්දැයි අසනවා වෙනුවට මා අසා තිබුණේ ඔහු ගැනය. ඒ ඔහුට කරදරක් නොවුණු බව තහවුරු කර ගන්නටය. ඒ සිද්දියෙන් පසු දැන් මාස හයකුත් ගෙවී අවසන්‍ ය. ඒහෙත් එදා අවසන් නිමේෂයේ ඔහු දුටු පසු අද වන තුරුත් ඔහු මා හමුවට නොපැමිණියේය. ඔහු දැන් මෙලෙස පවසන්නේ මා ඇතුළු අනෙකුත් ජනයා රැවටීමටද නැතහොත් ඔහුවම රවටා ගැනීමට දැයි මා දන්නේ නැත. දෑසට ඉනූ කදුළු ඔහේ ගලා යනු මට දැනුණි. ලඟ පාතක අම්මා හෝ තාත්තා නොමැති වීම මා හට ඉමහත් සහනයක් විය. ඔවුන් ඉදිරියේ හඬා වැළපී ඔවුන්ගේ හදවත් තවත් කඩා බිඳ දමන්නට මට අවැසි නොවුණි. මා නිසා ඔවුන් විඳවූ තරම හොඳටම ඇතිය.


එදා ඉතා ජව සම්පන්න ලෙස ක්‍රීඩා පිටිය වටා දිව ගියද අද ප්‍රාණය සුන් වී ගිය දෙපා මට කදුළු අතරින් බොඳවී පෙණුනි. සැබැවින්ම පසන්ට අවැසිව තිබුණේ ඒ ජව සම්පන්න ක්‍රීඩිකාව මිස දෙපා පණ නැතිව ගිය ආබාධිත සස්නි ජයවීර නොවන්නට ඇත. අම්මා නම් නිතර දෙවේලෙ ඔහුට දෙස් දෙවොල් තියනවා මට ඇසී ඇත. ඇය කියන්නේ ඔහුගේ පව් මගේ කරපිටින ගිය බවය. ඒ අම්මා තම දරුවාට තියෙන ආදරයේ හැටිය. එහෙත් මේ මගේ ලැබීමය. ඔහුට මේ දේ නොවී මට මේ දේ වීම ගැන මා අදටත් බෙහෙවින් සතුටු වෙමි. කිමද ඔහු අනතුරට පත් වූවා නම් මට එය කිසිසේත් දරාගත නොහැකි වන නිසාය. ඒත් මා ඒවා අම්මාට කියන්නට නොගියෙමි. කීවා නම් ඇය හොඳහැටි මටද දෙහි කපනු ඇත.


නොදැනීම අළුයමද වී ඇත. කුරුළු නාද දසතින්ම ඇසෙන්නේ අලුත් දිනයක අලුත් බලාපොරොත්තු ගැන කියනවා මෙනි. නැවතත් නැඟුණේ සුසුමකි. පත්තරය නවා පසෙකින් තබමින් කොට්ටයට හිස බර කල මා දෑස් පියා ගතිමි.


"සස්නි.."


මා හට කුමක් වී දැයි මා නොදනිමි. සිහිනයෙන් පවා මට ඔහුගේම හඬ ඇසෙන හැටි.මා පුදුමයෙන් සිතුවෙමි.

 

"නැගිටින්න පුතේ දැන් දවල් වෙලා.."


එවිට ඇසුණේ අම්මාගේ හඬයි. ඔහුගේ හඬ මෙන් මට ඇසෙන්නට ඇත්තේ අම්මාගේ හඬය. ගතට මෙන්ම සිතටද විඩාපත් බවක් දැනෙද්දී මා හෙමින් දෑස් විවර කළෙමි.


අම්මාට පිටුපසින් බොඳවී පෙනෙන රුව දෙස මා දෙනෙත් යැව්වෙමි. අම්මාට පිටුපසින් මා දෙසට යොමු වී තිබුණේ මාස හයක් පුරාවට මා දැකගන්නට පෙරුම් පිරූ ඒ ආඩම්බරකාර දෑස නොවේද. සැබැවින්ම ඒ ඔහුය. දෙවියනේ මේ තවත් සිහිනයක් ද. කිසිවක් සිතා ගත නොහැකිව මා අම්මා දෙසත් ඔහු දෙසත් බැලුවෙමි.


"කලබල වෙන්න එපා පුතේ. පසන් ඇවිත් ඉන්නෙ ඔයා එක්ක කතා කරන්න.."


අම්මාගේ වදන් මට ඇසුණේ සිහිනයෙන් මෙනි. දෙනෙත කඳුළින් බරව ගියේ මටත් නොදැනීය. ඔහුගෙන් අසන්නට දහසකුත් දේ ඇතැත් මා ගොළුවීය. ලද අවසරයෙන් මා වෙත පැමිණි ඔහු මගේ දෑත් තදකොට ග්‍රහණය කර ගත්තේය. විදුලියක් සේ ඒ උණුසුම යළිත් මා ගත පුරාවටම දිව යනු දැනුණි.


"සස්නි මං දන්නවා මට ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් අයිතියක් නෑ. මගේ මේ ජීවිතේ, මගේ මේ ජයග්‍රහණ සේරම අයිති ඔයාට. මං ඔයාව අමතක කරලා දැම්මා කියලා ඔයා හිතන්න ඇති. ඒත් මං ඔයාව බලන්න නාවෙ මට ඔයාට මූණ දෙන්න බැරි නිසයි. ඔයාට ඔහොම වුණේ මං නිසා. නැත්තම් ඔයා අද ඉන්න තැන මටවත් හිතා ගන්න බෑ. එදා ඉඳන් හැම මොහොතකම ඔයාට වුණු දේට වැරදි කාරයා මම කියලා මට හැමවෙලේම හිතෙන්න ගත්තා. ඔයාගෙ බලාපොරොත්තු හීන සේරම ඔයා තරමටම දැනගෙන හිටියෙ මම. ඉතිං ඒ හැමදේම මතක් වෙද්දි මං කොහොමද ඒ හීන මරලා දාපු මනුස්සයා විදිහට ඔයාව බල්න්න එන්නෙ. මට හිතුණා ඊට වඩා හොඳයි මාව මරා ගන්න එක කියලා.."


 එක දිගටම කියවා ගෙන ගිය ඔහු සුසුමක් හෙළුවේය. ඔහු ගැන තිබෙන ආදරය හදවතේ තව තවත් දළුලා වැඩෙනු මට දැනුණි. මා හඬ අවදි කරන්නට සිතුවේ එනිසයි.


"මං කවදාවත් ඔයා නිසා මට මෙහෙම වුණා කියලා හිතුවෙ නෑ පසන්. මේ වෙන්න තිබුණ දේ. ඒත් මං හිතුවා ඔයා මාව ඇත්තටම අමතක කරා කියලා.."


මගේ කටහඬ බිඳිණි. කඳුළු කැට දෙකපුල් දිගේ ගලා යනු දැනුණි. එවිටම ඔහුගේ දෑතේ ග්‍රහණය තවත් වැඩි විය.


"මං කවදාවත් ඔයාව අමතක කරේ නෑ බබී. හැම මොහොතකම මතකෙ හිටියෙ ඔයා. මං නිසා ඔයාට වුණ දේ කොයි මොහොතෙවත් මගේ හිතෙන් ගියෙ නෑ.  

ඒ වරදකාරී හැඟීම නිසාමයි මං ඔයාට කතා කරේවත් නැත්තේ. ඇත්තටම ඔයාට කතා කරන්න විදිහක් මට හොයා ගන්න බැරි වුණා.මං නොමැරී ජීවත් වුණේ මට දැන් තියෙන්නෙ ඔයා බේරලා දුන්න ජීවිතයක් නිසා. ඒ ජීවිතේ අයිති ඔයාට නිසා. මම ප්‍රැක්ටිස් ගියෙ ඔයා මං වෙනුවෙන් කරපු කැප කිරීමට සාධාරණයක් කරන්න ඕන වුණ නිසා. මං ඒක කරා. ඒත් මට ඔයාව ආපහු පරණ හිටපු තැනට ගේන්න ඕනෙ. මං ප්‍රැක්ටිස් නැති හැමවෙලේම මහන්සි වුණේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හොයන්න. ඒකත් මං හොයා ගත්තා.."


ඔහුගේ ආඩම්බරකාර දෑස බලාපොරොත්තුවෙන් දිලිසේ. මා මුව අයාගෙන ඔහු කියන්නේ කුමක්දැයි බලා සිටියෙමි.


"ඉන්ග්ලන්ඩ් වල ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. එයා ඔයා වගේම හොඳ කරන්න බෑ කිව්ව කීප දෙනෙක්ම හොඳ කරලා තියෙනවා. මං ආවෙ එහෙ යන්න හැමදේම ලෑස්ති කරලා. මට කියන්න බබී ඔයා කැමතියි නේද.. ඔයා මාත් එක්ක යන්න එනවා නේද.. මට හොඳටම විශ්වාසයි ඔයා අනිවාර්යයෙන්ම සනීප වෙනවා. ආයෙත් ඉස්සර වගේ ඔයාට මාත් එක්ක ඇවිදින්න පුළුවන් වෙනවා.. කියන්න ඔයා එනව නේද..?"


සතුටු වන්නටද දුක් වන්නටදැයි එකවරම මා හට සිතා ගත නොහැකි විය. එහෙත් ඒ දෑස් වල තිබුණු ආයාචනය මා කෙලෙස ඉවතලන්නද..? ආයාචනය පිළිගෙන සතුටු වනවා වෙනුවට තවත් දුක් වන්නේ කුමකටද? 


මා හිස සැලුවෙමි. පසන් ප්‍රීතියෙන් පිනා යනු දුටු මා මුවඟටද සිනහවක් නැඟුණි. මඳක් ඉවතට වී සියල්ල බලා සිටි අම්මා දෑසට නැඟුණු කදුළු පිසදා ගන්නා අයුරු මං යන්තමින් දුටුවෙමි..


******************************************************************************************************************************************************************************


කොතෙක් බාධා ආවත් සොයා

නුඹෙන් වෙන්වී ඈතට නොයා

ඇසිල්ලක්වත් වෙනතක බලා

නොයා ඉන්නම් ලඟටම වෙලා


දිනූ හැම දේ පැරදුණත් මා

දිනා දෙන්නම් නුඹේ පැතුමන්

මෙතැන් සිට මේ සසර කොතරම්

දුර වුණත් මා එක්ක යන්නම්..


(ගීතය උපුටා ගැනීමකි.)


Short story by Pramodi Peramuna 💜



(ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)


තවත් කතා කියවීමට මෙතන click කරන්න.


කවි හා නිසඳැස් කියවීමට මෙතන click කරන්න.


☁ පියාසරන සිතුවිලි - Flying Thoughts ☁

 

1 comment:

Anonymous said...

❤️